දෙසැම්බර් 18 බ්‍රහස්පතින්දා
පළමුවන දේව ප්‍රකාශනය – ජෙරමියා 23:5-8
පිළිතුරු ගීය – ගීතාවලිය 72:1-2, 12-13, 18-19
සුවිශේෂ ප්‍රකාශනය – ශු.මතෙව් 1:18-23
සුවිශේෂ ප්‍රකාශනයෙන්
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේය: ඔවුන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී, ඔවුන් එක්වන්ට පෙර ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ් ගෙන සිටින බව දැනගන්නා ලදී.
ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අථැර දමන්ට සිතා ගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියදී, ස්වාමින් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, “දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳවන මරියා පාවා ගන්ට බිය නොවන්න. මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසිනි. ඈ පුතෙකු බිහි කරන්නීය. ඔවුන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය. මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝය”යි කීය…
ආලෝකවත් අවදිවීම
ප්‍රසාද ස්නාපනයේ පින් හේතුවෙන් අද මම දේව දරුවෙක්මි. ශාරිරික, මානසික, ආත්මික කුමන දිළිඳුකමක් අත්දැක්කත්, මා වෙත එන ඒ හඬ: “දිළිඳු වූ ඔබ භාග්‍යවන්තය” (ශු.ලූක් 6:20). ජේසු සමිඳාණන් මනුෂ්‍ය දුබලකම් රැසකින් පිරි පරම්පරාවකින් පැවතියත්, ශුද්ධාත්මයාණන්ගෙන් පිරෙමින්, පැවතෙමින් ජනිතවූ නිසාම, අලුත් සිතක්, අලුත් හදක්, අලුත් පැවැත්මක්, අලුත් ගමනක්…!
“මිනිස් සිතේ තැන්පත් වී
රජ කරනා
දීන බවේ ශෝක තැවුල්
භය දුරලා
නිදහසේ දොර හරිනා
දෙවිඳු පෙමින් පණ පොවනා
නව අරුතෙන් දිවි වඩනා
විමුක්තියක් උපන් වගයි..! “
ඒ විමුක්තිදායකයාණෝ මෙසේ අප කැඳවන සේක:
“එන්න” – මා අනුව එන්න!
“යන්න” – දිළිඳුන් හට සුබ අස්න දෙසන්න
“එහෙත් ඉන්න” – මගේ රජකම තුළම ඉන්න; රාජකීය, පූජක, දිවැසි කාර්යය තුළම ඉන්න.
එම සමිඳු කැඳවුමට පිළිතුරු දෙන්නට, දකිමි බැරි බවක්.
එබැවින්, “මගේ කයෙහි, මගේ හදෙහි, උඩු සිතෙහි යටි සිතෙහි මාංශගත කරන්න වචනයාණන් ශුද්ධාත්මයාණෙනී..!”