Archive for September 2008

ඔක්තෝබර් 01 බදාදා

September 30, 2008

පළමුවන දේව ප්‍රකාශනය – යෙසායා 66:10-14

පිළිතුරු ගීය – ගීතාවලිය 131:1-3

සුවිශේෂ ප්‍රකාශනය – ශු.මතෙව් 18:1-4

ශාන්ත තෙරේසා කන්‍යාව

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

ඒ වෙලේහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත් “ස්වර්ග රාජ්‍යයෙහි උතුම් වන්නේ කවරෙක්දැ”යි ඇසූහ. එවිට ඔවුන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක: “සැබවින් ම මම ඔබට කියමි,ඔබ වෙනස්වී කුඩා දරුවන් මෙන් නොවුවහොත් ,කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නහු ය.එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇත්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතාම උතුම් වන්නේ ඔහුය.

 

ආලෝකවත් අවදිවීම

ජේසු සමිදාණෝ නිතරම දේව රාජ්‍යය ගැන කතා කළහ. එහෙත් රාජ්‍යයේ ස්වභාවය තේරුම් ගැනීමෙන් දුරස්තරව සිතිය ශ්‍රාවකයින් තමන්ගේ තැන පිළිබඳව උනන්දු වූහ.ඒ ගැන රහස් සම්මන්ත්‍රණයක යෙදී නැඟූ පැනයට,පියාණන්ගේ පාලනය සහ සැබෑ උතුම්කම ඔවුන් වහන්සේ ඉදිරිපත් කළ සේක.කුඩා දරුවා අහිංසක ය,කීකරු ය,යටහත් පහත් ය, අවංක ය,සිතින් නිර්මල ය. එවැනි කුඩා දරුවකු මෙන් යටහත් වන,බැහැපත් වන අය ස්වර්ග රාජ්‍යයෙහි ඉතාම උතුම් වන බව සමිඳාණෝ පෙන්වා වදාළහ.

 

ශාන්ත තෙරේසා කන්‍යාව

සභා මාතාව අද සමරණ ශාන්ත තෙරේසා කන්‍යාව,මව්පිය සෙනෙහසින් පිරී,කරුණාබරව,කීකරුව හැදුණු වැඩුණු සමිඳාණන් වදාළ එම උතුම් ගුණාංගවලින් සපිරුණු ජේසු සමිඳුන්ගේ ආදර්ශවත් කුඩා මල වූවා ය.ධර්මදූතයින්ගේ ආරක්ෂක සාන්තුවරිය වූ එතුමිය අද ලොව තරුණ තරුණියන් හටත් පොදුවේ ලොව සැමටත් දෙන පණිවුඩයට සවන් යොමමු.

“දෙවිඳුන් ඉදිරියේ කුඩාව සහ බැහැපත්ව සිටින්න” යන්නයි මගේ එකම පිළිතුර.එහි අදහස නම් අද සතු කිසිවක් නැති බව පිළිගෙන දෙවිඳුන් වෙතට ළඟා වීමයි.හැම දෙයක්ම දෙවිඳුන්ගෙන් බලාපොරොත්තු වී කුඩා දරුවන් මෙන් තම ආදර පියාණන් අතට පත්වීමයි.

“කුඩා වීම යනුවෙන් මා අදහස් කරන්නේ බැහැපත් වීමයි “. මා එසේ සිටිමින් දෙවිඳුන් සතුටු කිරීම සඳහා ආදරයේ, පරිත්‍යාගයේ, දුක් විඳීමේ මල් එකතු කරමින් සමිඳාණන්ට නිරතුරු ඒවා ඔප්පු කළා. එසේ ජීවත් වීමෙන් ඔබ සැමටත් ස්වර්ගයේ හිමිකරුවන් වන්නට පුළුවන් බව ස්ථිරයි”.

“ආදරය හැර වෙන කිසිවක් මා දෙවිඳුන්ට දී නැත. අවශ්‍ය වන්නේ එය පමණක් බව මම දනිමි. මගේ හදවතේ ගැඹුරින් ම මම සමිඳාණන්ට ආදරය කරමි”.

 

අප දෙසට

සුපුවතේ යථාර්ථය ලොවට කියා දීමට දෙවි පියාණන් ලිසියේ තෙරේසා මුනිතුමිය සහයට ගත්තා සේ අප එකිනෙකාව ද ඔවුන් වහන්සේ කැඳවන සේක.

“එන්න ! යන්න ! එහෙත් ඉන්න !”

සිතින් හදවතින් හා අභ්‍යන්තරයෙන් දැහැන් ගතව ජීවමාන සමිඳාණන් සමඟ පවතිමින්, ජීවත් වෙමින් ශාන්ත තෙරේසා කන්‍යාව කළ සාක්ෂි දැරීම හරහා අද ගෙන එන සමිඳු වදන මට ද අභියෝගයකි.

ඒ සඳහා මට බාධා වන දේ, මා තුලින් ඉවත් කළ යුතු දේ හා මා අයිති කරගත යුතු දේ කවරේද යන්න පිළිබඳව මා විමසා බලමි..

 

සුදත් බලයෙන් පිරී මම ද දැන් ගීතාවලිය සමඟ මෙසේ ගයමි:

“සමිඳුනී මාගේ සිත තුළ අහංකාරයක් නැත.

උදාරම් ලෙස මම ඇස් නො ඔසවමි.

වඩා උසස් දේ ගැනවත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැනවත් මම කරදර නොවෙමි.

ඒ වෙනුවට මම ලද දෙයින් නිහතමානීව සැනසී සිටිමි.

මව් තුරුල්ලේ සංසුන්ව සිටින ළදරුවෙකු සේ මා තුළ මාගේ සිත සංසුන් වී ඇත. “

ඔක්තෝබර් 2008

September 30, 2008

තේමාව : එන්න ! යන්න ! එහෙත් ඉන්න !”

හැඳින්වීම

September 27, 2008

විශේෂයෙන් කියන්න තරම් දෙයක් නැති වුනත් මේ බ්ලොග් එක පටන් ගන්න කලින් පොඩි හැඳින්වීමක් කරන්න ඕනා කියලා හිතුනා.

මේ බ්ලොග් එක ලියන අදහස ඇති වුනේ බොහොම මෑතක. කිව්වේ පෙරේදා. මීට කලින් බ්ලොග් එකක් ලියන්න අදහසක් තිබ්බෙ නෑ වගේම ආගමික පැත්ත බර වුන බ්ලොග් එකක් නම් ලියන අදහසක් කවදාවත් තිබ්බේ නෑ. මම කලින් කිව්වා වගේ  පෙරේදා  තමයි එහෙම අදහසක් මගෙ හිතට ඇතුල් වුනේ. මට දැනුනෙ හරියට දෙවියන් වහන්සේ  මගෙන් යමක් බලාපොරොත්තු වෙනව වගේ. පොඩි කාලෙ ඉඳන් ගීතිකා කණ්ඩායමට සහභාගි වුනා ඇරෙන්න මගේ ආගම වෙනුවෙන් කියල විශේෂයෙන් කිසිවක් කරන්න අවස්ථාවක් මට කවදාවත් ලබිලා නෑ.

මේ අදහස ඇතිවුන වෙලේ ඉඳන් මේක හදලා ඉවර වෙනකම් පුදුම විදිහේ නොඉවසිල්ලක් තිබ්බේ. ඒත් ඉතින් හැම දේටම වෙලාවක් තියන හින්දා ඔක්තෝබර් පළවෙනිදා වෙනකම් බලාගෙන ඉන්න සිද්ධවෙනවා. මොකද අලුත් මාසයක ආරම්භයකදී අලුතෙන් දෙයක් පටන් ගන්න එක හොඳයිනෙ. අනිත් එක ඔක්තෝබර් කියන්නේ කතෝලික අපි හැමෝම දන්න විදිහට ජපමාල මාසය. වෙන විදිහකට කිව්වොත් දේව මැණියන්ගේ මාසය. එතුමියගේ ආශිර්වාදයත් එක්කම “සුදතුම් ගමන” පටන් ගන්න පුළුවන් වෙන එක භාග්‍යක් ලෙස සලකනවා.

ඇත්තටම මේ බ්ලොග් එකේ මම පල කරන්න හිතාගෙන ඉන්නේ මගේම නිර්මාණයක් නෙමෙයි. සුපුවත අනිත් අයට කියලා දෙන්න තරම් හොදින් මම දන්නෙත් නැති නිසා මේක මගෙම නිර්මාණයක් විදිහට එළිදැක්වීමේ හැකියාවක් නෑ.

කතෝලික බයිබලයේ සඳහන් සුපුවත, කිතුදන පුබුදුව මඟින් එළිදක්වනු ලබනසුදතුම් ගමනකලාපයේ ඇතුලත් වී ඇති ආකාරයෙන්ම මේසුදතුම් ගමනබ්ලොග් අඩවියත් සරසන්නට මම බලාපොරොත්තු වෙනවා.

නිතරම මා ළඟ සිටිමින් මා දිරිමත් කරන මගේ අම්මාටත් මේ බ්ලොග් එක නිර්මාණය කරන්න සහය දුන් මිතුරාටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.

නවීන ලෝකයේ කාර්ය බහුලත්වය නිසා හෝ වෙනත් යම් යම් කාරණා නිසා ශුද්ධවු බයිබලයෙන් හෙවත් සුපුවතින් ඈත්ව දිවි ගෙවන, සියළු දෙනා හට සුපුවත වටහාගෙන අනුව ජීවත් වීමට හා එමඟින් සමාජය යහපත කරා ගෙනයාමට හැකියාව ලැබීම මගේ අරමුණයි.

දෙවි පියාණන්ගේ ආශිර්වාදයෙන්, අන්තර්ජාලය පාවිච්චි කරන සියළුම කතෝලික සහෝදර සහෝදරියන් වෙනුවෙන්සුදතුම් ගමන  මෙසේ එළිදැක්වෙන වගයි..