Archive for October 2008

ඔක්තෝබර් 31 සිකුරාදා

October 31, 2008

පළමුවන දේව ප්‍රකාශනය – පිලිප්පි 1:1-11

පිළිතුරු ගීය – ගීතාවලිය 111:1-6

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 14:1-6

 

පළමු ප්‍රකාශනයෙන්

… ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹූ ඔවුන් වහන්සේ,ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දවස පැමිණීමේදී එය සම්පූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි…ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හද පත්ලෙන් ම ගලා එන ප්‍රේමයෙන් මා ඔබට ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක.මාගේ යාච්ඤාව නම් මේ ය.විශිෂ්ඨතම දේ වටහා ගැනීමට හැකි වන පිණිස,දැනගන්මෙන් හා සියළු ආකාර විමසීමෙන් ඔබගේ ප්‍රේමය වර්ධනය වේවා..!ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොට ගෙන දෙවියන් වහන්සේගේ ගෞරවයත් ප්‍රශංසාවත් පිණිස ඔබ දැහැමි ජීවිතයක ඵලවලින් පූර්ණ වේවා..!

ආලෝකවත් අවදිවීම

‘ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හද පත්ලෙන්ම ගලා එන ප්‍රේමයෙන්’ තමන් ඔවුන්ට ප්‍රේම කරන බව පාවුළු තුමා පිලිප්පි සංඝයට පවසන්නේ සිරගතව හිඳිමින් ය.’විශිෂ්ඨතම දේ වටහා ගැනීමට හැකිවන පිණිස’ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන බව ද පාවුළු තුමා පවසයි.ඒ විශිෂ්ඨතම දේ සමිඳු ප්‍රේමයම නොවන්නේ ද?පියාණන් වහන්සේගේ හද පත්ලෙන් ගලා එන ප්‍රේමයෙන් පිරුණු ජේසු ක්‍රිස්තු සමිඳාණන්ව,තම ජීවිතයෙන් අත්දුටු පාවුළු තුමා, සංඝය හා බෙදා ගත්තේ එම ප්‍රේමයම ය.

පුත්‍රයාණන් වහ්න්සේ,පිය දෙවිඳු ප්‍රේමය තම වචනයෙන් හා ක්‍රියාවෙන් පළ කළේ කොන්දේසි විරහිතව ය.අද සුවිශේෂ සිද්ධිය එවන් එක් අවස්ථාවක් පමණි.සබත් දිනයේදී සුව කිරීම අවට සිටියවුන් අනුමත නොකරන බව දැන දැනත් ඔවුන් වහන්සේ එහි සඳහන් දිය උදර රෝගියාව සුව කළේ සැබෑ ප්‍රේමය නීති නියෝගවලින් සීමා කළ නොහැකි බව ඔවුනට පසක් කරමිනි.

 

 

 

 

 

ඔක්තෝබර් 30 බ්‍රහස්පතින්දා

October 30, 2008

පළමුවන දේව ප්‍රකාශනය – එපීස 6:10-20

පිළිතුරු ගීය – ගීතාවලිය 144:1-2

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 13:31-35

ශා.ජෝන් කපෙස්ට්‍රානෝ මුනිඳුන්

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

ඒ මොහොතේදී ම පරිසිවරුන්ගෙන් සමහරෙක් පැමිණ, “මෙතැනින් අහක්ව ගිය මැනව.මන්ද හෙරෝද් ඔබ මරණ රිසියෙන් සිටින්නේය”ය කීහ.ඔවුන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක;”ඔබ ගොස් ඒ හිවලාට මෙසේ කියන්න;අදත්,හෙටත් මම යකුන් දුරු කොට රෝග සුව කරමි.තුන්වැනිදා මාගේ පරමාර්ථය මුදුන්පත් කර ගන්නෙමි…..”

 

ආලෝකවත් අවදිවීම

ජේසු ක්‍රිස්තු සමිඳාණන් දෙස බලා සිටිද්දී ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් වහන්සේගේ අභ්‍යන්තරය අනාවරණය කිරීම පුදුමාකාර ය.

ඔවුන් වහන්සේව මරන්නට හෙරෝද් බලා සිටින බව කී විට ඔවුන් වහන්සේගේ ප්‍රතිචාරය වූයේ,”ඒ හිවලාට ගොස් කියන්න….”යනුවෙන් පටන්ගෙන පැවසූ වදන් සමූහයයි. ‘දෙවියන් වහන්සේ මගේ තාත්තා, මම ඔවුන් වහන්සේගේ පුතා’ යන අභිමානයෙන් පිරී තාත්තා කියන දේ පමණක් කළ පුත්‍රයාණන් ලෙස කිව යුතු දේ නොබියව ඔවුන් වහන්සේ ප්‍රකාශ කළ සේක.එක් පැත්තකින් පියාණන් වහන්සේගේ කැමැත්ත හොඳින් හඳුනාගෙන,අනෙක් පැත්තෙන් පියාණන් වහන්සේගේ මොහොතට අවදි වී ක්‍රියා කළ එකම තැනන් වහන්සේ ඔවුන් වහන්සේම වූහ.’අන් අය මාව ප්‍රතික්ෂේප කළත්, වේදනා දුන්නත්, මාව මැරුවත් පියාණන් වහන්සේගේ කැමැත්ත මත පිහිටා පමණයි මා ක්‍රියා කළ යුත්තේ’යන පැහැදිළි අරමුණ ඔවුන් වහන්සේ තුළ වූ බවකි.

මේ ජීවමාන ක්‍රිස්තු සමිඳාණන්ව එකම ආදර්ශය,එකම අරමුණ කරගත් ශු.පාවුළු තුමා සිරගතව සිටියදීත් ඔවුන් වහන්සේ හමුවේ ප්‍රබල අත්දැකීමේ ඇති රහස් එළිදරව් කරන්නාහ.

නිතරම පියාණන් වහන්සේ තුළ ස්ථිරව සිටීමෙන් යක්ෂයාට විරුද්ධව සටන් කිරීමට ඇති ශක්තිය,දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වීමේ ඇති බලය ගැන අප සමඟ පාවුළු තුමා බෙදා ගනියි.දේව වචනය නමැති කඩුව අප ප්‍රයෝජනයට ගනිද්දී නියම සත්‍යය කරා ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ ජීවිත හසුරුවමින් ගෙන යන බව අද දවසේ අපට අනාවරණය කරයි.

 

අපගේ පුත්‍රභාවය දෙස

ඔවුන් වහන්සේගේ පුතෙකු දුවක ලෙස අපට ද මේ ආකාරයෙන් ක්‍රියා කරන්නට,ඊට පිපාසයක් ඇතිකරගන්නට ආරාධනයකි;ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්නට ද,අන් අය වෙනුවෙන් අයදින්නට ද අවදි කිරීමකි. අවසානයේදී අපගේ පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට නොව දේ රාජ්‍යය ගොඩ නැඟීමෙහි ලා දේව කැමැත්ත පමණක් ඉටු කිරීමට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට, දේව වරප්‍රසාදය ඉල්ලා අයැදීමට අපට ආරාධනා කරයි.

ඔක්තෝබර් 29 බදාදා

October 28, 2008

පළමුවන දේව ප්‍රකාශනය – එපීස 6:1-9

පිළිතුරු ගීය – ගීතාවලිය 145:10-14

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 13:22-30

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

ඔවුන් වහන්සේ ජෙරුසලෙම බලා යද්දී අනුශාසනා කරමින් නගර හා ගම් නියම් ගම් මැදින් වැඩිය සේක.එක් තැනැත්තෙක් කතා කොට,”ස්වාමීනි,ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණක් දැ”යි ඔවුන් වහන්සේගෙන් ඇසීය. ඔවුන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක. “පටු දොරෙන් ඇතුළු වන්නට වීර්ය කරන්න.මන්ද බොහෝ දෙනෙක් ඇතුල් වන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකි වේ යයි මම ඔබට කියමි.ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින් “ස්වාමීනි,අපට දොර හැරිය මැනව” යි කියන කල… මෙන්න දැන් අන්තිමයන්ව සිටින සමහරු ප්‍රථමයෝ ද, දැන් ප්‍රථමයන්ව සිටින සමහරු අන්තිමයෝ ද වන්නෝ ය.”

 

අප දෙසට

දේව රාජ්‍යයට ඇතුළු වනු සඳහා පටු දොරටුවෙන් ඇතුළු වන්නට වීර්යය කරන්නැයි සමිඳාණෝ අද අපව ද කැඳවන සේක. අද අපට පසු කරන්නට ඇති විවිධ වූ සිද්ධීන්, ගැටළු අමාරුකම් මධ්‍යයේ ස්වාමින් වහන්සේ වෙතට ගමනක් යන්නට ආරාධනාවකි.පහසුව,ප්‍රීතිය,සතුට සියල්ලෙන් පිරිපුන් අත්දැකීම් ඔස්සේ නොව,වේදනාව, අමාරුකම, අසරණකම, මරණය හරහා ලැබෙන ස්වර්ගීය ප්‍රීතිය,රාජ්‍යයේ උරුමය අයිති කරගන්නටය ඒ ආරාධනය. ඊශ්‍රායෙල් ජනතාව තෝරා ගත් ජනතාව කියා ද,දේව රාජ්‍යය ඔවුනට අයිතියි කියා ද පුරසාරම් ගසමින් සිටියත් පටු දෙරටුවෙන් ඇතුලු වූ විදේශිකයන්ට අන්‍ය ජාතීන්ට රාජ්‍ය උරුමය හිමි විය. ප්‍රථමයන් වී සිටි බොහෝ දෙනෙක් අන්තිමයෝ ද, අන්තිමයෝ ප්‍රථමයෝ ද වූහ. දෙවියන් වහන්සේගේ රාජ්‍යය හැම දෙනාටම උරුම ය.ඒ උරුමය ලබන්නට නම් වැඩි වැඩියෙන් ඔවුන් වහන්සේ වෙතට සමීප වෙමු. අපි සිටින තැනින් හැරෙමු. දේව රාජ්‍යය අනික් අය අතරට රැගෙන  යමු. ඒ සඳහා සුදතුම් බලය පතා යදිමු.

ඔක්තෝබර් 28 අඟහරුවාදා

October 28, 2008

පළමුවන දේව ප්‍රකාශනය – එපීස 2:19-22

පිළිතුරු ගීය – ගීතාවලිය 19:1-3

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 6:12-19

ශු.සීමොන් සහ ජූද් අපෝස්තුළු තුමෝ

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

තවද ඒ දවස්වලදී ඔවුන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක.පහන් වූ කල ඔවුන් වහන්සේ සිය ගෝලයන් කැඳවා ඔවුන් අතරින් ශ්‍රාවකයන් දොළොස් දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ප්‍රේරිතයන් යයි නම් තැබූ සේක…

 

ආලෝකවත් අවදිවීම

අද දින පළමු සඳෙසින් පිළිබිඹු වන පරිදි ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ඉදිකරන ලද දිව්‍යමය ගොඩනැඟිල්ලක් අපි දකිමු.ඒ දිව්‍යමය ගොඩනැඟිල්ලේ ප්‍රධාන කොනේ ගල අප සමිඳාණන්ම ය.අපගේ ජීවිතවල මුල් තැන අප ඔවුන් වහන්සේට දෙන ප්‍රමාණයට ඔවුන් වහන්සේ තුළ අපගේ ජීවිත ශුද්ධවූ මන්දීරයක් සේ වර්ධනය වන්නේ ය. දේව තාත්තාගේ කැමැත්ත ඉටු කිරීමට මෙලොවට පැමිණි කිතු සමිඳුන් හදවත මොන තරම් පියාණන්ගේ ප්‍රේමයෙන් පිරුණු හදවතක් ද? ඔවුන් වහන්සේ තනි කැමැත්තෙන් කිසිවක් නොකළ සේක. නිතරම පියාණන් වහන්සේගේ කැමැත්ත විමසා බලා ක්‍රියා කළ ආකාරය අද සුපුවතින් විදහා දැක්වේ.ඔවුන් වහන්සේ ශ්‍රාවකයින් තෝරා ගන්නට ප්‍රථම කන්දකට නැඟී මුළු රැයම අවදිව යාච්ඤාවේ යෙදී සිටි සේක. අප කිතු සමිඳාණන් හිරු උදාවට ප්‍රථම අවදිව යාච්ඤා කළ බව මෙන්ම හිරු උදාවෙන් පසු යාච්ඤා කළ අවස්ථා ගැන ද සුවිශේෂයන් හි සඳහන් වේ. ඔවුන් වහන්සේ නොයෙක් ප්‍රාතිහාර්යන් කරමින්, රෝගීන් සුව කරමින්, මොන තරම් දූත කාර්යයෙහි යෙදී සිටියත්, මේ සියල්ල මඳකට නවතා පියාණන් වහන්සේ අබියස යාච්ඤාවෙන් පෙනී සිටින්නට යාමට තරම් පිපාසයක් ඔවුන් වහන්සේගේ හදවතේ විය.

 

යැදුමට යොමු වෙමු

කිතුනුවන් වන අප කොයි තරම් දුරට අපගේ වැඩකටයුතු මධ්‍යයේ යාච්ඤාවට නැඹුරු වෙනවා ද? මේ ලෝකයේ දේවල් තුළ ම ඇලී ගැලී සිටින අපි ඔවුන් වහන්සේට අපගේ ජීවිතවල ප්‍රථම තැන දෙනවා ද? “එන්න! යන්න! එහෙත් ඉන්න!” යන තේමාව පෙරදැරි කරගෙන කොයි තරම් දුරට ජීවත් වෙනවා ද? අපි අවංකවම මනස්ථාපනය වෙමින් ඔවුන් වහන්සේ සමඟ ගැඹුරු සම්බන්ධයක් ගොඩනඟා ගනිමු.දේවපුත්‍රභාවයේ වස්ත්‍රය පැළඳගෙන යාච්ඤා ජීවිතයක් තුළින් පන්නරය ලබමින් දූත කාර්යයෙහි යෙදෙන්නට අදිටන් කර ගනිමු.අද දින සමරණ සාන්තුවරයන් සමඟ දෙවිඳු ප්‍රේමයෙන් නැහැවෙමින් මුළු ලොව ගලවන්නට යැදුමෙන් හා ක්‍රියාවෙන් දායකත්වය දෙමු.

ඔක්තෝබර් 27 සඳුදා

October 28, 2008

පළමුවන දේව ප්‍රකාශනය – එපීස 4:32-5:8

පිළිතුරු ගීය – ගීතාවලිය 1:1-4,6

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 13:10-17

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

…ජේසුස් වහන්සේ ඈ දැක කැඳවා,”ස්ත්‍රිය, ඔබේ දුර්වල කමින් ඔබ මිදුනෙහි ය”යි කියා ඈ පිට අත් තැබූ සේක. එකෙනෙහිම ඈ කෙලින් සිට දෙවියන් වහන්සේට ප්‍රශංසා කළාය. ජේසුස් වහන්සේ සබත් දිනයේදී සුවකළ බැවින් ධර්මශාලා නායකයා කෝපව සමූහයා අමතා,”වැඩපල සඳහා සදවසක් ඇත.සබත් දිනයේ නොව වෙන දවස්වල අවුත් සුවය ලබා ගන්නැ”යි ඔවුන්ට කීය… ස්වාමින් වහන්සේ…”ආබ්‍රහම්ගේ දියණියක වූ මේ ස්ත්‍රිය ඒ බන්ධනයෙන් සබත් දිනයේදී මුදන්ට යුතුව තිබුණා නොවේදැ”යි වදාළ සේක.මෙසේ වදාළ විට ඔවුන් වහන්සේගේ විරුද්ධවාදීහු ලැජ්ජාවට පත්වූහ.

සමිඳු දෙසට

දෙවිඳුන්ගේ ‘ප්‍රසන්න පුතා’,එනම් ජේසු ක්‍රිස්තු සමිඳාණන් නිතර තමන් තුළ වූ ශුද්ධාත්මයාණන් වහන්සේට අවදි වෙමින් තිර පදනමක් මත නියත අරමුණ සොයා ගිය බව පැහැදිළි ය. එහිදී ධනය, බලය, නිලය යන අරගල සමඟ ගැටෙන්නට ඔවුන් වහන්සේට සිදුවිය. ඒවා මධ්‍යයේ තමන් වහන්සේ තුළින් ගලා ගි‍ය සුවදානය දෙවි පිය මහිමයට පිදිණි.එහෙයින් නොවේද සුවය ලද ස්ත්‍රිය තුති පැසසුම් දෙවිඳුනට පිදුයේ? සෑම අයිතියකින් හිස්වී දේව ආදරයෙන් හදවත පුරවා ගනිද්දී අඳුරු බලවේග හඳුනා ගැනීමට ආත්මයාණන් විසින් දැනගැන්මේ දීමනාව ඔවුන් වහන්සේට තෑගි කළා සේයි.

 

අපගේ කැඳවීම

සමාජය තුළ,පවුල් තුළ ,එදිනෙදා ජීවිතය තුළ මුහුණ දෙන විවිධාකාර ගැටළු,ප්‍රශ්න,අරගල වලදී කළකිරීම,එපාවීම, පරාජිත බව යන වහල්කම් නිතැතින්ම අප ජීවිත වෙලා ගනී. ධනය,බලය නිසා නපුර හිස ඔසවද්දී පීඩිතයින්,වහලුන් වැඩිවනු පෙනේ.ශාරීරික, මානසික, සමාජීය මෙන්ම අධ්‍යාත්මික වහල්කම් ද,අප අඳුරින් අඳුරට ගමන් කරවයි.කාලයේ සලකුණු තුළින් ශ්ද්ධාත්ම හඬ අපට ඇසුනත් එයට අවදි වන්නට නොහැකි සේ අන්ධකාරය දැඩිව ආලෝකය වෙලාගෙන ඇත. සමාජ අසාධාරණය,අයුක්තිය මිනිස් අයිතීන් අහිමි කරද්දී එය යක්ෂයාගේ නවාතැන් පලවල් වන බව පෙනේ.

සමිඳු රාජ්‍යය, ඒ දූත මෙහෙවර නිවහල් නිදහස් මිනිසෙකු බිහි කිරීමේ තෝතැන්නක් නොවූයේ ද?ඒ ජීවිත පූජාව එදිනෙද ජීවිත කෙඳිරිල්ලට සවියක් කර ගනිමු.සමාවත්,ප්‍රේමයත් හරහා වහල්කම් ජය ගන්නට සමිඳු අනුව යන්නැයි දෙවන ප්‍රකාශයේ පෙන්වා දෙයි.ධනයෙන් බලයෙන් හෝ නීතියෙන් අපේ ජීවිත යට කර ඇත. එනිසාම අප තුළ වන දුබලතාවයන් අපව හිර කරන වහල් කරන නිසා නිතර ශුද්ධාත්මයාණන්ට සවන් දෙමු.ඒ සුදතුම් බලය අපව නිදහස් කරන්නේ හදවතේ ගැඹුරුම තැන නිදහස් කරන දේව හඬ හඳුනා ගැනීමට ය. කිතු සමිඳුන් තුළින් ම එතෙර වීමක් අත්දකින්නට ය.

ඔක්තෝබර් 26 ඉරිදා

October 24, 2008

පළමුවන දේව ප්‍රකාශනය – නික්මයාම 22:21-27

පිළිතුරු ගීය – ගීතාවලිය 18:1-3, 46, 50

දෙවන දේව ප්‍රකාශනය – 1 තෙසලෝනික 1:5-10

සුවිශේෂ ප්‍රකාශනය – ශු.මතෙව් 22:34-40

සාමාන්‍ය සමයේ 30 වන ඉරුදින

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

ඔවුන් වහන්සේ සදුසිවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවරු එක් රැස් වූහ…”ගුරු දේවයිනි, ව්‍යවස්ථාවලියෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක්දැ”යි ඇසී ය.ඔවුන් වහන්සේ කතා කොට,”නුඹේ මුළු හෘදයෙන් ද, නුඹේ මුළු සිතින් ද,නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන්න. මෙය ශ්‍රේෂ්ඨතම හා පළමුවන ආඥාවය.එනම් නුඹ,නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න” යනුයි….

ආලෝකවත් අවදිවීම

අබ්බා පියාණන්ගේ ප්‍රේමයෙන් පරිණත වූ කිතු සමිඳාණෝ තමන් වහන්සේ අත්දුටු ප්‍රේමය කිසිදු සීමාවකින් තොරව මුළු විශ්වය පුරාම ගලා යන්නට සලසන සේක. පූර්ණව තම සිත, කය, මනස තාත්තාගේ රාජ්‍යය උදෙසා බව හඳුනාගෙන සිටි ඔවුන් වහන්සේ,මේ අභියෝගාත්මක ප්‍රේමය කිසිදු පැකිලීමකින් තොරව බෙදා ගන්නා සේක. සැබවින්ම ප්‍රේමය ලබන හා දානය කරන තැන,ගැඹුරු මට්ටමකින් තමනට තමන් නැති කර ගත යුතුය.නොහොත් ප්‍රේමය පරිත්‍යාගිශීලි ය. කාලිකවූ මනුෂ්‍යත්වය හුදෙක් පියාණන් මහිමය උදෙසා පිදීමට තරම් නිර්ලෝභී හදක් කිතු සමිඳුන් සතු විය. එබැවින් පියාණන්ගේ රාජ්‍යය සඳහාත්,පියාණන් උදෙසාත් අද සුවිශේෂයේ අත්දැකීම බෙදා ගැනීම ඔවුන් වහන්සේට තම අභ්‍යන්තරික අත්දැකීම අනාවරණය කිරීමක්ම වූ බව නිසැක ය.

ඔක්තෝබර් 25 සෙනසුරාදා

October 24, 2008

පළමුවන දේව ප්‍රකාශනය – එපීස 4:7-16

පිළිතුරු ගීය – ගීතාවලිය 122:1-5

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 13:1-9

 

සුවිශේෂ ප්‍රකාශන

ඒ අවස්ථාවෙහි එහි සිටි සමහරෙක් කතා කොට, පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේම යාග සමඟ මිශ්‍ර කළ අන්දම ගැන ඔවුන් වහන්සේට දැන්වූහ. ඔවුන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්,”ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔව්හු අන් හැමටම වඩා පාපි වූහයි ඔබසිතන්නහු ද?එසේ නොවේ යයි මම ඔබට කියමි.මනස්ථාපනය නොවුවොත් ඔබ හැමද එසේම විනාශ වන්නහු ය. සිලෝවම් හි බලකොටුව වැටී ඊට යට වී මළ දස අට දෙනා ජෙරුසලමෙහි විසූ අන් හැමටම වඩා දුෂ්ඨ වූහයි ඔබ සිතන්නහු ද?එසේ නොවේ යැයි ඔබට කියමි.මනස්ථාපනය නොවූවොත් ඔබ හැමට වන්නේත් එම විපත්තියම ය” යි වදාළ සේක.

 

සමිඳාණන් දෙස

කිතු සමිඳාණන් ලෝකයට පෑ සදහම් දැක්ම තුළ පාපය නම් තම දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටුපෑමත්,ත්‍රිවිධ සතුරන්ගේ (ලෝකයා,යක්ෂයා,මාංශයා ග්‍රහණයට හසුවී ක්‍රියාකිරීමත් බව පැහැදිළි සත්‍යයක් වේ.මැවුම්කරුවාණන්ට එරෙහි වන මැවිල්ල ගැන දෙවි පියාණන් වහන්සේ තුළ ඇතිවන සංවේදනීයත්වය පැරණි ගිවිසුම පුරා දිස්වෙයි. ඔවුන් වහන්සේ දිවැසිවර යෙසායා,ජෙරමියා තුළින් ද මනස්ථාපනයට ජනතාව කැඳවන්නේ, තම දරුවන් අකීකරුව පිටුපා ගියත්,නැවත හැරී පැමිණෙන්නේ නම් ප්‍රේමාන්විතව පිළිගන්න පියෙකුගේ ස්වරූපයෙන්ම ය. පියාණන් වහන්සේගේ කැමැත්ත -සිත හඳුනාගත් එකම පිතණුවන් වහන්සේ, නිරන්තරයෙන් පියාණන් වහන්සේ කැමැත්ත ඉටු කරමින්, ජනතාව ද දේව කැමැත්තට අවනතව පියාණන් වහන්සේව මහිමයට පැමිණවීමේ පිපාසයෙන් මනස්ථාපනයට කැඳවමින්ම ය. විවිධ අවස්ථාවන් තුළ දී නැවත නැවතත් සිත් හැරෙමින්, අත් හරිමින් යන ගමන සිහිගන්වන සේක.මිනිසාගේ දුබල සිත පැවැත්ම හඳුනන සමිඳාණන් ශුද්ධාත්මයාණන් වහන්සේව දානය කරන්නේ පාපය හඳුනාගෙන ඉන් වැලකී ජීවත් වීමට ය.”ශුද්ධාත්මයාණන් පැමිණි කල පාපය කුමක්දැයි හඳුනා දෙන සේක.”කිතු සමිඳාණෝ දේව රාජ්‍යය බිහිකිරීමෙහි ලා පියාණන් වහන්සේගේ කැමැත්ත විමසමින් ශුද්ධාත්ම මෙහෙයවීම මත (යාච්ඤා ජීවිතය )කටයුතු කළ ආකාරය අනාවරණය කරන්නාහ.

 

මා දෙසට

සමිඳාණන් අපට පවසන “මනස්ථාපනයට” අවදියෙන් පසුවන අයෙක් ද මා? දුබල මගේ සිත, හදවත, ජීවිතයම හඳුනන සමිඳාණන් නැවත නැවත ප්‍රකාශ කරන්නේ මනස්ථාපනයේ අතී අවශ්‍යතාවය මත මා දිවිය පියාණන් වෙත එසවීමට ය. ශුද්ධාත්මයාණන් වහන්සේට නිරන්තරයෙන් නැවතුමේ දිවියකට අප කැඳවන සමිඳාණන් පාවුළු තුමන් හරහා ද නැවතත් මනස්ථාපනයෙන් ලත් ශුද්ධාත්ම ජීවිතය අනාවරණය කරන්නාහ. සමිඳාණන්ගේ හඬට සවන් දී ඔවුන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට පිපාසිත වෙමු.

ඔක්තෝබර් 24 සිකුරාදා

October 24, 2008

පළමුවන දේව ප්‍රකාශනය – එපීස 4:1-6

පිළිතුරු ගීය – ගීතාවලිය 24:1-6

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 12:54-59

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

අවර දිගින් වළාකුලක් නඟිනු ඔබ දක්නා විට,”වර්ෂාවක් එන්නේය”යි ඔබ කියන්නාහු ය; එසේම වහින්නේ ය. දකුණු දිගින් සුළඟ හමන විට, “දැඩි ග්‍රීෂ්මයක් වන්නේය”යි ඔබ කියන්නාහු ය; එසේම වන්නේ ය. කෛරාටිකයෙනි, අහසේ ද පොළොවේ ද ලකුණු තෝරා දීමට ඔබ දන්නාහු ය. එහෙත් මේ නියමිත මොහොත ඔබ නොදන්නේ කෙසේ ද? හරි දෙය කුමක්දැයි ඔබම විනිශ්චය නොකරන්නේ මන්ද? ඔබේ පැමිණිලිකාරයා සමඟ උසාවියට යන විට මඟදීම ඔහු සමඟ බේරුමක් කර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි ගන්න. එසේ නොකළහොත් සමහරවිට… උසාවියේ නිළධාරියා ඔබ හිරගෙට යවන්නේ ය.අන්තිම සතයට ගෙවන තුරු ඔබ එතැනින් පිටතට නො එන්නෙහිය යි ඔබට කියමි..

 

ආලෝකවත් අවදිවීම

මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දෙවන ආගමනය ගැන කිතු සමිඳාණෝ ජනතාව අවදි කරවති.නොයෙකුත් උපමා මඟින් ද ඒ ගැන කියා දීමට ඔවුන් වහන්සේ කරුණාභරිත වෙති.මුරණ්ඩු සිත් ඇති අයට, ‘කෛරාටිකයෙනි’ කියමින් බැන වදිමින් ද මේ ගැන පවසති.ආකාශයේ වෙනස්වීම් දෙස බලා කාලගුණයේ අනාවැකි කීමට දන්නේ නම්,මේ නියමිත මොහොත නොදන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරති.සෑම ආකාරයකින් ම ඔවුන් වහන්සේ පවසන්නේ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දෙවන පැමිණීම ගැන නිතරම අවදිව සිටින ලෙස ය.

ඒ ගැන අවදීවී සිටිමින් කළ යුතු දේවල් ගැනද ඔවුන් වහන්සේ ජනතාව දැනුවත් කරති.”හරි දෙය කුමක්ද කියා ඔබම විනිශ්චය කරන්නැ”යි ඔවුන් වහන්සේ පවසති. පැමිණිලිකාරයා සමඟ උසාවියට යනවිට මඟදීම ඔහු සමඟ බේරුමක් කර ගැනීමට බොහෝ මහන්සි ගතයුතු යයි ද එසේ නොකළහොත් ඉන්පසු මහත් අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදිවන්නේ යයි ද පවසමින්,ඔවුන් වහන්සේ ජනතාවට කියා දෙන්නේ ලෝකාන්තිමය,එසේ නැතහොත් තමන්ගේ මරණ මොහොත පැමිණෙන තුරු නොසිට,දෙවියන් වහන්සේ සමඟ සමඟි වීම සැනසිලිදායක විය හැකි බව ය.

 

මා දෙසට හැරෙමි

කිතු සමිඳාණන් මෙලොව සිටියදී ලෝකාවසානය පිළිබඳව පැවසූ දේවල් ගැන මා සිටින්නේ අවදියෙන් ද?කාලයාගේ සලකුණු මා තුළ වෙනසක් ඇතිකර තිබේ ද?අද අප ශ්‍රී ලංකාව පමණක් නොව,ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ස්වභාවික විපත් එනම්,භූමිකම්පා,ගංවතුර,නියං, ලැව්ගිනි,මුහුද ගොඩ ගැලීම් මෙන්ම යුද්ධ කෝලහාල, ත්‍රස්තවාදී බිලිගැනීම්, හදිසි අනතුරු, කිසිදා නොඇසූ භයානක ලෙඩ රෝග යනාදිය මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමාන්විතව නැවත වඩින මොහොත ගැන මාව අවදි නොකරන්නේ ද?මෙවැනි කාලයේ සළකුණු ගැන කිතු සමිඳුන් පෙර පවසා නැද්ද?මා තවමත් නිදි ද? කමින් බොමින් බාල් නටමින්, නැටුම් නරඹමින්, ධනය බලය මානයට දෙවියන් වහන්සේගේ තැන පවරා දෙමින් මා තවමත් අඳුරේ අතපත ගානවා ද?දෙවියන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා ගැන,ඔවුන් වහන්සේගේ භයානක ප්‍රේමය ගැන, මා තුළ නිරන්තර අවදි වීමක් තිබේ ද?

ශුද්ධාත්මයාණෙනී, මා අවදි කළ මැනව. ලෞකික සැප සම්පත් සියල්ල නිෂ්ඵල බව ද දෙවි මහෝත්තමයාණන්ට ගරු බිය දක්වමින් ඔවුන් වහන්සේගේ අණ පණත් සුරැකීම පමණක් මගේ ජයග්‍රහණය වන බව ද මට පෙන්වමින් මා අවදි කළ මැනව.අප නොදන්නා මොහොතකදී,කිතු සමිඳුන් වඩින බැවින්, සෑම මොහොතකම මාව සූදානම් කර තැබුව මැනව.

ඔක්තෝබර් 23 බ්‍රහස්පතින්දා

October 23, 2008

පළමුවන දේව ප්‍රකාශනය – එපීස 3:14-20

පිළිතුරු ගීය – ගීතාවලිය 33:1-2, 4-5, 11-12, 18-19

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 12:49-53

ශා.ජෝන් කපෙස්ට්‍රානෝ මුනිඳුන්

 

පළමු ප්‍රකාශනයෙන්

සියලු සැදැහැවතුන් සමඟ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ දිගත්,පළලත්,උසත් ගැඹුරත් වටහා ගැනීමට ශක්තිය ලබා,ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන,දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණිස ද මම යාච්ඤා කරමි.

 

යැදුම

“දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රිය ය. මහ පොළොව හිමිතුමන්ගේ කරුණාවෙන් පිරී ඇත.

සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද, දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය”. (ගීතාවලිය 35:5,12)

 

ඒ ආසිරි ලද්දවුන් අතර කෙනෙකු හැටියට සමිඳුන් අභිමත ගමනේ යෙදෙන්නට ශුද්ධාත්මයාණෙනි, අප සැම බල ගැන්වුව මැනව..

 

 

 

 

 

ඔක්තෝබර් 22 බදාදා

October 21, 2008

පළමුවන දේව ප්‍රකාශනය – එපීස 3:2-12

පිළිතුරු ගීය – යෙසායා 12:2-6

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 12:39-48

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

…සිය ස්වාමියාගේ අදහස දැනගෙනත්, ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළාවූ ද ක්‍රියා නොකළාවූ ද දාසයා බොහෝ පහර ලබන්නේය.එහෙත් ඒ අදහස නොදැන,පහර ලැබීමට නිසි දේ කළ අය ස්වල්ප වශයෙන් පහර ලබන්නෝය.යමෙකුට බොහෝ දේ දෙන ලද්දේ ද,ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනු ලැබේ.

ආලෝකවත් අවදිවීම

“යමෙකුට බොහෝ දේ දෙන ලද්දේ ද, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනු ලැබේ.යමෙකුට බොහෝ දේ පවරන ලද්දේ ද,ඔහුගෙන් ඊටත් වැඩියෙන් බලාපොරොත්තු වනු ලැබේ.”

විශ්වාසී දාසයා පිළිබඳ උපමාවෙන් පසු ඒ පිළිබඳ ප්‍රශ්න නඟන පේදුරු තුමන්ට සමිඳුන් දුන් දීර්ඝ පිළිතුරෙන් කොටසකි ඒ.පියාණන් වහන්සේ වෙතින් බොහෝ දේ ලද විශ්වාසනීය සේවකයාණන් වූ ජේසු සමිඳාණන් වහන්සේ පියාණන් වහන්සේ බලාපොරොත්තු වූ දේ සපුරාම ඉටු කළ සේක.එවන් වූ විශ්වාසනීය සේවකත්වයක් තම ශ්‍රාවකයන් වෙතින් ද සමිඳාණෝ අපේක්ෂා කරති.ඔවුන් වහන්සේගේ ශ්‍රාවකත්වයට කැඳවුම පිළිබඳ සඳහන් කරමින්,”මේ වරප්‍රසාදය දෙන ලද්දේ,ක්‍රිස්තුන් වහන්සේගේ අසීමිත ධන සම්භාරය,විජාතිනට දේශනා කිරීමටත් මේ අභිරහස් අරමුණ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය එළිදරව් කිරීමටත් ය” යනුවෙන් පවසයි.සැබැවින්ම පාවුළු තුමා සමිඳාණන් වහන්සේගේ විශ්වාසනීය සේවකයෙකු ලෙස ප්‍රශංසනීය සේවයක් ඉටු කරමින් දෙවි පියාණන් මහිමයට පත් කළ අයුරු එතුමන්ගේ දූතික ගමන් පිළිබඳ බැලීමේ දී දැකිය හැකි ය. එවන් වූ සුවිශාල සේවාවක් කළ පාවුළු තුමා පවසන්නේ තමන් සැදැහැවතුන්ගෙන් ඉතා සුලු තැනැත්තාටත් වඩා සුළු බවයි. සුළු දෙයක් කර ඒ පිළිබඳ පුන පුනා පුරසාරම් දොඩන ඇතැමුන්ට පාවුළු තුමන්ගේ මෙම වචන අභියෝග නොකරන්නේ ද?

 

මගේ පුත්‍රභාවයේ කැඳවීම

අපිදු සමිඳාණන් වෙතින් කැඳවුම ලත් ක්‍රිස්තු ශ්‍රාවකයන් වෙමු. අපගේ ඇති සුදුසුකමක් නිසා නොව අපට ඇති ප්‍රේමය නිසාම, ඔවුන් වහන්සේ විසින් බොහෝ දේ අපට දානය කරනු ලැබ ඇත. ජේසු ක්‍රිස්තු සමිඳාණන්ගේ මරණය හා උත්ථානය මඟින් අපට උරුම කර දුන් දේව පුත්‍රභාවයත් සමඟින් අපට තිළිණ කළ ඒ දීමනාවන් හඳුනා ගැනීමට වැඩි වැඩියෙන් වෙර දරමු. එසේ හඳුනාගෙන එතැනින් සෑහීමට පත්විය හැකි ද? “යමෙකුට බොහෝ දේ දෙන ලද්දේ ද, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනු ලැබේ”යයි සමිඳාණන් වහන්සේ අද අපට ද පවසන්නාහ. ඔවුන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වන දේ කුමක් ද?ශුද්ධාත්මයාණෙනී,මට පෙන්වා වදාළ මැනව! එලෙසම මා විසින් මගේ පවුල තුළ, මීසම-සංඝය තුළ, මගේ දේශය තුළ දේව රාජ්‍යය වෙනුවෙන් කළ යුතු දේ කරන්නට,ඒ සඳහා තවත් අය හා සාංඝික වන්නට මට මඟ පෙන්වුව මැනවි!

 

දවස පුරා

සමිඳාණන් අද දවසේ -මේ මොහොතේ මගෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද?