Archive for November 2008

නොවැම්බර් 16 ඉරිදා

November 17, 2008

පළමුවන දේව ප්‍රකාශනය – හිතෝපදේශය 31:10-13, 19-20, 30-31

පිළිතුරු ගීය – ගීතාවලිය 128:1-5

දෙවන දේව ප්‍රකාශනය – 1 තෙසලෝනි 5:1-6

සුවිශේෂ ප්‍රකාශනය – ශු.මතෙව් 25:14-30, 14-15, 19,21

සාමාන්‍ය සමයේ 33 වන ඉරුදින

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

“ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකිය: එක් මිනිසෙක් සිය දාසයන් කැඳවා, තමා සතු දේ ඔවුන්ට භාර සී පිටරට බලා ගියේය…. බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා අවුත් ඔවුන් සමඟ ගණන් හිලව් බැලීය. රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ තවත් රිදී කාසි පන්දාහක් ගෙනවුත්, “ස්වාමිනී, ඔබ මට රිදී කාසි පන්දාහක් භාර දුන්නෙහිය. මෙන්න තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගතිමි”යි කීය. ඔහුගේ ස්වාමියා ඔහුට කතාකොට, ‘යහපත් විශ්වාසී දාසය,ඉතා අගෙයි. ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කීය.

ආලෝකවත් අවදිවීම

ස්වකීය පියාණන් වහන්සේ පිළිබඳව, ඔවුන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳව සමිඳාණන් වහන්සේ අවබෝධ කරගත්තේ එම රාජ්‍යය තුළ පියාණන් වහන්සේ සමඟ ජීවත් වීමෙන්මය. ඒ බව අද දින ශුද්ධවූ සුවිශේෂ පාඨය තුළින් මනාව සනාථ වේ. පියාණන් වහන්සේගේ ‘සිත’, ‘අභ්‍යන්තරය’ ඉතා හොඳින් අවබෝධ කරගෙන තිබූ ඔවුන් වහන්සේ මෙම උපමා කථාව තුළින් දේව රාජ්‍යය පිළිබඳව තව දුරටත් අනාවරණය කරන සේක.

ඔවුන් වහන්සේ අප හට විවිධ තලෙන්තු (විවිධ හැකියාවන්, විවිධ දීමනාවන්) ලබා දී ඇත්තේ මූලිකවම දේව රාජ්‍යයේ වර්ධනය සඳහාය. එම දීමනාවන්, හැකියාවන් ස්වල්ප වූවත්, විශාල වුවත් ඒවා නිසි අයුරින් භාවිතා කරන්නේ නම් එය එක් අතකින් දේව රාජ්‍යයේ වර්ධනයට හේතු වන්නා සේම ඒවා අපගේ ජීවිතය තුළ වැඩි වර්ධනය වනවා නොඅනුමානය.

 

අපගේ පුත්‍රභාවය

මගේ ජීවිතයට ඔවුන් වහන්සේ ලබා දී ඇති හැකියාවන්, දීමනාවන් මා හඳුනාගෙන තිබෙනවාද? ඒවා නිසි අයුරු මා පරිහරණය කරනවාද? ඒවායෙන් මගේම ජීවිතයට, එමෙන්ම අන් අයගේ ජීවිත වලට ප්‍රයෝජනයක් අත් වෙනවාද? ඒවා තුළින් අන් අයට, සංඝයට, දේශයට සේවය කරන්නට මා ක්‍රියා කරනවාද? ඒ තුළින් ඔවුන් වහන්සේගේ රාජ්‍යය ගොඩනඟන්නට ඒ ‘තලෙන්තු’ යොදනවාද? නැතහොත් ‘මම, මට, මගේ’ යනුවෙන් සිතමින්, ක්‍රියාකරන කෙනෙක්ද මා? මොහොතක් නැවතී මෙනෙහි කරමු.

නොවැම්බර් 15 සෙනසුරාදා

November 17, 2008

පළමුවන දේව ප්‍රකාශනය – 3 ජොහන් 1:5-8

පිළිතුරු ගීය – ගීතා 112:1-6

සුවිශේෂ ප්‍රකාශනය – ශුද්ධවූ ඇල්බට් මුනිඳුන්

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවේ යෙදිය යුතු බව දක්වන පිණිස ඔවුන් වහන්සේ ඔවුන්ට මෙම උපමාව වදාළ සේක. එක් නුවරක දෙවියන් වහන්සේට භය නැති මිනිසුන්ට ගරු නොකරන විනිශ්චයකාරයෙක් විය. එම නුවර වැන්දඹුවක්ද වූවාය. ඈ නොයෙක් වර ඔහු වෙත ගොස්, ‘මාගේ විරුද්ධකාරයා මට කළ අයුක්තියට යුක්තිය ඉෂ්ඨ කළ මැනව’යි කීවාය… ඔහු,’මා දෙවියන් වහන්සේට ගරුබිය නොපෑවත්, මනුෂ්‍යයන්ට ගරු සරු නොකළත් මේ වැන්දඹුවගේ කරදරය නිසා, ඈ නිතර පැමිණ මා නොවෙහෙසන පිණිස ඈට යුක්තිය ඉටුකර දෙමි’යි කීයේය…’…දෙවියන් වහන්සේ දිවා රෑ දෙකෙහි තමන් හට අයදින,තමන් තෝරා ගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක්ද?…

 

ආලෝකවත් අවදිවීම

ක්‍රිස්තුන් වහන්සේ අපට දක්වන ආදරය කොතරම් මහත් ද? ඔවුන්වහන්සේ පියාණන් වහන්සේ වෙතින් අත්දකින ආදරය අප වෙතටද ගලා එන්නට මඟ කියාදෙන සේක. මා දෙවි පියාණන් අයදින ආකාරය මම සිහි කරමි. පුබුදු ජීවිතයට කැපවී සිටින මගේ යාච්ඤාවේ ප්‍රධාන අරමුණ දෙවි මහෝත්තමයාණන්ට ප්‍රශංසා කිරීම බව සැබෑය. එහෙත් මා කොපමණ වාරයක් කොපමණ දේ ඉල්ලා යාච්ඤා කර ඇද්ද? ඉල්ලූ දෙය නොලැබුනු විට මා කලකිරීමට පත්වී නැද්ද? සමහර විට එකවරම යාච්ඤා කිරීම අත් හැර දමා ඇද්ද? යාච්ඤා කිරීමෙන් පලක් නැතැයි මා සිතුවාද? නැතිනම් දිනපතාම නොකඩවාම දෙවි පියාණන් ඇමතුවාද? දෙවි මහෝත්තමයාණෙනි, මා ඔබ වහන්සේගෙන් ඉල්ලන දේවල් ඔබවහන්සේගේ අභිමතයට එකඟ වේ නම් සුදුසු අවස්ථාවේදී ඒවා මට ලබා දුන මැනව.

නොවැම්බර් 14 සිකුරාදා

November 14, 2008

පළමුවන දේව ප්‍රකාශනය – 2 ජොහන් 1:4-9

පිළිතුරු ගීය – ගීතාවලිය 119:1-2, 10-11, 17-18

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 17:26-37

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

තවද නෝවාගේ දවස්වලදී වූ ලෙසම,මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලදිත් වන්නේය. නෝවා නැවට පිවිසුණු දිනය දක්වා මිනිස්සු කමින් බොමින් ආවාහ විවාහ වෙමින් කල් යැවූහ. එවිට ජල ගැල්ම පැමිණ ඔවුන් සියල්ලන් විනාශ කර දැමීය….

මාගේ පුත්‍රභාවය දෙස

ජේසුස් වහන්සේ සැබෑ සිද්ධීන් දෙකක් ඇසුරෙන් කථා කරති. නෝවාගේ දවස්වලදී සහ ලොත්ගේ දවස්වලදී සිදුවූවාක් මෙන් ඔවුන් වහන්සේගේ දෙවන පැමිණීමේදී සිදුවන බව පවසති. පැරණි ගිවිසුම් සමයේදී දෙවියන් වහන්සේ දස පණතින් ඉල්ලා සිටින ලද්දේත් තමාට ඇති දයාව සේ අන් අයටද ප්‍රේමය දක්වමින් දැහැමි ජීවිත ගතකරන ලෙසය. එහෙත් ඔවුන්ගේ කල්ක්‍රියා ඉතාමත්ම දූෂිතව තිබුණි. ඔවුහු දෙවියන් වහන්සේව අමතක කර ආත්මාර්ථකාමී ජීවිත ගත කලෝය. බහුතරය දූෂිත වූ බැවින් නෝවාගේ කාලයේදී ජල ගැල්මෙන්ද, ලොත් සහ ඔහුගේ පවුලේ අයද දෙවියන් වහන්සේ ගලවා ගත් සේක.

නොවැම්බර් 13 බ්‍රහස්පතින්දා

November 11, 2008

පළමුවන දේව ප්‍රකාශනය – පිලමොන් 1:7-20

පිළිතුරු ගීය – ගීතාවලිය 146:7-10

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 17:20-25

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

“දෙවියන් වහන්සේගේ රාජ්‍යය කවර කලෙක පහළ වන්නේදැ”යි පරිසිවරු ඇසූ බැවින් ඔවුන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඇසට පෙනෙන අයුරින් නොපැමිණෙයි.’මෙන්න මෙතැනය. අන්න අතනයැ’යි කිසිවෙකුට කිව නොහැකිය. මන්ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ අතරෙහි ය” යි වදාළ සේක. ඔවුන් වහන්සේ ශ්‍රාවකයින්ට මෙසේ වදාළ සේක; “මනුෂ්‍ය පුත්‍රයාණන් වැඩ සිටින දවස්වලින් එකක් වුවද, දැකීමට ඔබ ආශා වන කාලය පැමිණෙයි. එහෙත් ඔබ එය නොදක්නාහු ය. අන්න අතනය, මෙන්න මෙතන යයි කියන කල පිටත් වී එය පසුපස්සේ නොයන්න. අහසේ එක් දිශාවකින් පහළ වන විදුලිය, අහසේ අනෙක් දිශාව දක්වා බබළන්නාක් වෙන් මනුෂ්‍ය පුත්‍රයාණෝ පහළ වන දවසේදී බබළන සේක. එහෙත් පළමුකොට එතුමාණෝ බොහෝ දුක් විඳ මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුත්තාහ.

 

ආලෝකවත් අවදිවීම

එදා දෙවියන් වහන්සේ ඔවුන් වහන්සේගේ රාජ්‍යය, සුගති උද්‍යානය මවා වදාරමින් ආරම්භ කළ සේක. අද මනුෂ්‍ය අප වර්ගීකරණය කරන භයානක මෙන්ම සෞම්‍ය සතුන්, ගුණදායක මෙන්ම විෂදායක ගස් වැල්, චංචල නිශ්චල ලෙස හඳුන්වන ඇල දොළ ගංගා ආදී හැමෙකක්ම එකට මැවූ සේක.

‘දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ අතරෙහිය’ – ප්‍රසාද ස්නාපනය තුළින් හිමිකරගත් දේව පුත්‍රභාවය අත්දකින්නාට, දේව රාජ්‍යය හඳුනා ගත හැකිවෙයි. එසේ හැකිවනු සඳහා ශුද්ධාත්මයාණෝ අපට මඟ පෙන්වන සේක. විශ්වාසයේ හෙවත් ආලෝකයේ ඇස (හත්වන ඇස ) අපට තෑග්ගක් ලෙස ලැබී ඇත. දේව රාජ්‍යයේ හිමිකරුවාණන්ද අප අතර වැඩවාසය කරන සේක. “මන්ද යම් තැනක දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් මාගේ නාමයෙන් රැස්ව සිටිද්ද, එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි” (ශු.මතෙව් 18:19-20). සකල ලෝකයා හට ඔවුන් වහන්සේව හමුවන්නට, ඇසුරු කරන්නට කතාකරන්නට දොරටුවක් විවෘතව පවතී. එම නිසා “අන්න අතනය, මෙන්න මෙතනයයි ඔවුන් කියන කල පිටත් වී එය පසුපස්සේ නොයන්න”

පළමු ප්‍රකාශනය ඇතුළත් කුඩා හසුනෙන් වහල් සේවය නැතිකිරීම සඳහා සමාජ විප්ලවයකට තුඩු දෙන අධ්‍යාත්මික විප්ලවයක් පිළිබිඹු කෙරෙන අතර, දේව රාජ්‍යය අත්දකින තැනැත්තේ කටුක,වේදනාත්මක, කොන් වන මොනයම් අත්දැකීමක සිටියත් දෙවියන් වහන්සේට සියල්ලේදී ස්තූති කරන, අන් අයගේ දුකට වේදනාවට සාංඝික වන, සියල්ලන් පිළිගන්න කෙනෙක් බව අද අපට අනාවරණය වෙයි.

නොවැම්බර් 12 බදාදා

November 11, 2008

පළමුවන දේව ප්‍රකාශනය – තීතස් 3:1-7

පිළිතුරු ගීය – ගීතාවලිය 23:1-6

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 17:11-19

 

පළමු ප්‍රකාශනයෙන්

නිළධාරීන්ට හා අණ්ඩු බලය ඇත්තන්ට යටත් වී, කීකරු වීමටද, සියලු යහපත් වැඩට සූදානම්ව සිටීමටද ඔබේ සෙනඟට මතක් කරන්න.එසේම කිසිවෙකු ගැන නොකියන්නටද,කලහකාරී නොවී සියලු මනුෂ්‍යයන් කෙරෙහි හැම අයුරින්ම කාරුණිකව ආචාරශීලීව සිටීමටද මතක් කරන්න…. එහෙත් අඔඅගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේගේ ගුණවත්කම හා ප්‍රේමය මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රකාශ වූ කල,අප විසින්ම කළ දැහැමි ක්‍රියාවලින් නොව හුදෙක් ස්වකීය දයාව ලෙස, පුනරුත්පාදනය නමැති ධෝවනයෙන්ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද ඔවුන් වහන්සේ අප ගැළෙවූ සේක.

 

සමිඳාණන් දෙස

ලාදුරු රෝහීන් දස දෙනෙක් අප සමිඳාණන්ටමුණ ගැසීම හා ඔවුන් සුවපත් කිරීමේ සිද්ධිය අද සුවිශේෂය අපට ඉදිරිපත් කරයි. රෝගීන් දසදෙනා සමිඳාණන් වෙතින් පැතූ කරුණාව, ඔවුන් වහන්සේ ඔවුන් වෙත ගලා යන්නට සලස්වන සේක.”ඔබ ගොස් පූජකවරුන් අභිමුවෙහි පෙනී සිටින්නැ”යි ඔවුන් වහන්සේ ඔවුන්ට පවසති. අතරමඟදී තමන් සුව වූ බා දකින දසදෙනාගෙන් එක් කෙනෙකු පමණි යළි ඔවුන්වහන්සේ වෙත හැරී විත් තුති පිදුවේ.

එම සිදුවීම හා පාවුළු තුමන් අද තීතස්ට ලියූ සඳෙසින් පවසන වදන්ද සමඟින් අප සමිඳාණන් දෙස බලමු නම්,ඔවුන් වහන්සේ සුවය ලබා ගෙදර යන්නැයි නොකියා පූජකයන් ඉදිරියේ පෙනී සිටින්නැයි රෝගීන්ට පැවසුවේ සුවය ලැබූවන් පූජකයන් ඉදිරියේ පෙනී සිටිය යුතු බවට පැවති නියමයට ගරු කිරීමක් වශයෙන් යයි සිතිය නොහැකිද? ‘දෙවියන් වහන්සේගේ ගුණවත්කම හා ප්‍රේමය තමන් කෙරෙහි ප්‍රකාශ වූ කල’, එනම් තමන් සුවය ලබා තිබෙන බව දැක හැරී ආ රෝගියාගේ ප්‍රතිචාරයත් අනික් නව දෙනාගේ ප්‍රතිචාරයත් දෙස බලත්දී, නවදෙනා නීතිය පමණක් ගැන සිතුවා මිස මේ සුවය තමන් වෙත දානය කළ තැනන් වහන්සේ වෙත ආචාරශීලී වෙමින් ස්තූතියක් කිරීමට අවැසියයි කියාවත් නොසිතූ ලෙසක් නොවේද දිස් වනුයේ?

“මේ විජාතිකයා හැර,’දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස’ වෙන කිසිවෙකු හැරී ආවේ නැද්දැ”යි සමිඳාණන් අසන පැනයෙන්ම ඔවුන් වහන්සේ සියල්ලේ ගෞරවය තමන් වහන්සේට හිමිකර නොගෙන ‘දෙවියන් වහන්සේට’ එනම් පියාණන් වහන්සේට පිදූ බව නොවේද අපට දැකිය හැකි වන්නේ? එලෙසම හැරී ආ රෝගියාගේ ශ්‍රද්ධාව අගය කිරීම තුළින් ශ්‍රද්ධාව-හෙවත් ඇදහිල්ල පිළිබඳ අවට සිටිය අය තුළ යම් අවදි වීමක් ඇති කරන්නට සමිඳාණන් අදහස් කරන්නට ඇත.

 

අපගේ පුත්‍රභාවය

දෙවියන් වහන්සේගේ නීතිය – ආඥාව ප්‍රේමයයි. ප්‍රේමය මිනිස් අණ පණත් අභිබවා යන්නකි. අප සමිඳාණෝ එම ප්‍රේමයෙන් පිරෙමින් අපට ප්‍රේම කරනවා පමණක් නොව තමන් වහන්සේ අනුව යන්නට කැඳවන ලද ජනතාවක් වශයෙන් අපගෙන් ද බලාපොරොත්තු වනුයේ එවැනිම වූ ප්‍රේමයකි.

ආණ්ඩු බලයට ( නීතියට ) හිස නැමීමට සියළු යහපත් වැඩට සූදානම්ව සිටීමට, කිසිවෙකුගේ අගුණ නොකියන්නට, කලහකාරී ලෙස නොහැසිරෙන්නට, සැම කෙනෙක් කෙරෙහි ආචාරශීලී වන්නට පවසන පාවුළු තුමා, එහෙත් ඒ දැහැමි ක්‍රියා නිසා නොව අප ගැලවීම ලබා ඇත්තේ සමිඳානන්ගේ ප්‍රේමය හේතුකොට ගෙන බව පවසයි. එසේ නම් අපේ මිනිස් උත්සාහයෙන් කළ හැකි දැහැමි ක්‍රියා මඟින් පමණක් සෑහීමට පත් නොවී, ‘දෙවි පියාණන්ගේ දයාවෙන් අප ලබන ශුද්ධාත්මයාණන් වහන්සේගේ අලුත් කිරීමෙන් ලද හැකි සමිඳාණන්ගේ ගැලවීම’ කෙරෙහි පිපාසිත වෙමු.

නොවැම්බර් 11 අඟහරුවාදා

November 10, 2008

පළමුවන දේව ප්‍රකාශනය – තීතස් 2:1-8, 11-14

පිළිතුරු ගීය – ගීතාවලිය 37:3-4, 18, 23, 27, 29

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 17:7-10

රාජගුරුප්‍රසාදි සාන්ත මාටින් මුනිඳුන්

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

“…එහෙත් ඔබ අතරෙන් යමෙකුට සීසාන හෝ බැටළුවන් බලන දාසයෙක් සිටීනම් කෙතේ සිට ආ කල වහාම ඇවිත් කෑමට හිඳගන්නැයි කියන්නෙහි ද? එසේ නොව මට කෑම බීම පිළියෙල කොට ඇඳගෙන ලෑස්ති වී කා බී නිමවන තුරු මට උපස්ථාන කරන්න. ඉන්පසු ඔබ කන්න බොන්න කියන්නේ නැද්ද? ඒ දාසයා තමාට අණ කළ දේ කළ බැවින් ස්වාමියා ඔහුට ස්තූති කරයි ද? නැත. එසේම ඔබත් ඔබට අණ කළ සියල්ල කළ පසු ‘අපි දාසයෝය, ස්තූතියක් අපට හිමි නැත. කළ යුතු දේ පමණක් අපි කළෙමු’යි කියන්නැ”යි වදාළ සේක.

 

ආලෝකවත් අවදිවීම

ජේසු සමිඳාණෝ තම ශ්‍රාවකයින් සමඟ කතා කරති. ඔවුහු “අපගේ ඇදහිල්ල වැඩිකළ මැනව” යි ඉල්ලීමක් කරති. තේරුම් ගැනීමට පහසු සිද්ධියක් ඉදිරිපත් කර ඔවුන්ගේ විශ්වාසය වර්ධනය කරන සමිඳාණෝ, ඔවුන් වහන්සේ ඉදිරියේ දාසයන් වීම භාග්‍යවන්ත බව තහවුරු කරමින් තමන් වහන්සේගේ අභ්‍යන්තර අත්දැකීම අයිතිකර ගන්නට ශ්‍රාවකයින් අවදි කරති. තේජස, බලය, මහිමය හිස්කර පාපි වූ මිනිසා ගළවා ගැනීම සඳහා මෙලොවට පැමිණි දේව පුත්‍රයාණන් වහන්සේ අපහාස, දුක් වේදනා විඳින්නට, කස පහර, කම්මුල් පහර කන්නට, අයුක්තිය අසාධාරණය සිදුවෙත්දී ඒවා ඉවසා දරා ගනිමින් කුරුසියේ ගමන තෝරාගත් සේක. පියාණන් වහන්සේගේ අභිරහස්මක ශුද්ධවූ කැමැත්ත ඉටුකිරීම දේව පුත්‍රයාණන් තුළ වූ ගැඹුරු පිපාසයයි.ඒ සඳහා සියල්ල අථැරීමේ අත්දැකීමට ඇතුළුව දේව තාත්තාගේ කැමැත්තට පූර්ණව අවනත වෙමින් කුරුසියේ මරණය දක්වා ගමන් ගත් සේක.

දාසයා නිසි අයිතිවාසිකමක් නැති ස්වාමියාගේ කැමැත්ත පමණක් ඉටු කරන්නෙකි. ඔහු නිතරම තම ස්වාමියා දෙස බලා සිටිමින් සවන් දෙමින් කියන දේ පමණක් කරන්නට කැපවී සිටියි. දාස භාවයේ ප්‍රතිමුර්තිය ක්‍රිස්තුන් වහන්සේය. “මෙන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි”යි මුලු ජීවිතයෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ දාස භාවයේ අත්දැකීම අත්දුටු භාග්‍යවන්ත අම්මාගේ අත්දැකීම ජේසු සමිඳාණන් වහන්සේට ළමා වියේදී පෙර මඟ පෙන්වීමක් වන්නට ද ඇත.

නොවැම්බර් 10 සඳුදා

November 10, 2008

පළමුවන දේව ප්‍රකාශනය – තීතස් 1:1-9

පිළිතුරු ගීය – ගීතාවලිය 24:1-6

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 17:1-6

සාන්ත මහා ලියෝ පාප්තුමා

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

ඔවුන් වහන්සේ ශ්‍රාවකයින්ට කථා කරමින්,”මිනිසුන් පාපයට වැටෙන හේතූන් ඇති වීම නියතය.එහෙත් යමෙකු නිසා ඒ හේතු පැමිණේද,ඔහුට වන විපතක මහත! මේ කුඩා අයගෙන් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද?ඔහුගේ ගෙළ වටා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපති. පරිස්සම් වන්න;ඔබේ සහෝදරයා පව් කළොත් ඔහුට තරවටු කරන්න; ඔහු මනස්ථාපනය වේ නම් ඔහුට කමා වන්න. දවසකට සත් වරක් ඔබට විරුද්ධව පව් කොට, සත් වරක් ඔබ වෙතට හැරී,’මම මනස්ථාපනය වෙමි’යි කීවොත් ඒත් ඔහුට කමා වන්නැ’යි වදාළ සේක. එවිට ශ්‍රාවකයෝ කතා කොට,”අපේ ශ්‍රද්ධාව වැඩි කළ මැනව”යි සමිඳාණන් වහන්සේට කීහ.සමිඳාණන් වහන්සේ කතා කොට “අබ ඇටයක් පමණ ශ්‍රද්ධාව ඇතිව,මේ ඇඹිල්ල ගහට,’ඉදිරී ගොස් මුහුදේ පැල වෙව’යි කියන්නහු නම් එය ඔබට කීකරු වනු ඇත.

 

ආලෝකවත් අවදිවීම

අප සමිඳාණන් වහන්සේ මිනිසාගේ අභ්‍යන්තරය දකින්නා සේය. පාපයට යට වන මිනිසා එසේ වන්නේ හිතා මතාමද? එසේ නම් අප සමිඳාණන් වහන්සේ පවසනුයේ එහි ප්‍රතිඵලද භයානක වන බව නොවේද? ඔවුන් වහන්සේ ඒ පිළිබඳව පවසනුයේ කාලීන උපමාවද උදව් කරගෙනය. එලෙසම ඔවුන් වහන්සේ මනස්ථාපනයේ ඇති වැදගත් කමද පෙන්වා දෙන අතර,සමාව දීම ගැන හා සමාව ලබා ගැනීම ගැනද කතා කරන සේක. එහිදී ඔවුන්වහන්සේ පව්කාරයාව කොන්දේසි රහිතවම භාරගන්නා සේක; කොන්දේසියක් නැතුවම සමාව දෙන සේක. ඔහු හෝ ඇය කුමන තත්ත්වයක සිටියත් ඔවුන් සිටින තත්ත්වයට කිතු සමිඳාණෝ පියාණන් වහන්සේගේ නාමයෙන් ප්‍රේම කරන සේක. එදා ඔවුන් වහන්සේගේ ප්‍රේමය අත්දුටුවනගේ ජීවිතයේ නව පරිනාමනයකට එම ප්‍රේමයම හේතුවක් විය. නැවත නැවත පාපයට වැටීමට ඇති ඓඩ ප්‍රස්තාව තවත් එහි නොවීය. ඒ වෙනුවට ප්‍රීතිය, සාමය ඔවුහු තම ජීවිත තුළ අත්දුටුහ. ඔවුනගේ ජීවිත ගමන අළුත් විය. ඔවුනගේ ජීවිත ඉන් නොනැවතුනි. මන්ද යත්, කිතුනු ශ්‍රාවක, ශ්‍රාවිකාවන් ලෙස ගැඹුරු විශ්වාසයේ ජීවිත ගමනකට ඔවුන් ඇතුළු වූ බැවිනි. එවන් වූ ගමනකට නොවේද අද අප වෙතත් සමිඳු ඇරයුම?

නොවැම්බර් 09 ඉරිදා

November 8, 2008

පළමුවන දේව ප්‍රකාශනය – එසකියෙල් 47:1-12

පිළිතුරු ගීය – ගීතාවලිය 46:2-3, 5-6, 89

දෙවන දේව ප්‍රකාශනය – 1 කොරින්ති 3:9-17

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ජොහාන් 2:13-22

සාමාන්‍ය සමයේ 32 වන ඉරුදින

 

දෙවන දේව ප්‍රකාශනයෙන්

මන්ද, අපි දෙවියන් වහන්සේ සමඟ සහකාර සේවකයෝ වෙමු. ඔබ දෙවියන් වහන්සේගේ කෙතය. ඔබ දෙවියන් වහන්සේගේ ගොඩනැඟිල්ලය. මට දෙන ලද දේව වරප්‍රසාදය පරිදි මම දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු මෙන් අත්තිවාරමක් දැමීමි. වෙන තැනැත්තෙක් ඒ මත ගොඩනඟයි… මන්ද දැනටම දමා ඇති අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නුපුළුවන. ඒ අත්තිවාරම නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය. ඔබ දෙවියන් වහන්සේගේ මන්දිරය බවත්, ඔබ තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩ වසන බවත් ඔබ නොදන්නහු ද?

 

ආලෝකවත් අවදිවීම

එකල ජුදා සංස්කෘතිය මෙන්ම අද අප සංස්කෘතිය තුළ පවා දේව මාළිගය නොහොත් දේව මන්දීරය( දේවස්ථාන ) සලකනු ලබන්නේ දෙවියන් වහන්සේ විශේෂ ආකාරයෙන් වැඩ සිටින ස්ථානයක් ලෙසිනි. එසේම සාමාන්‍යයෙන් මනුෂ්‍යයා භුක්ති නොවිඳින ලෝකෝත්තර වරප්‍රසාද ලබා ගන්නට මෙහි ආ යුතුය. මේ වනාහි ශුද්ධස්ථානයකි. මනුෂ්‍යයාගේ අඩුව මෙහිදී පුරවනු ලැබේ.

ශු.පාවුළු තුමන් තවත් ගව් ගණනක් අප ඉදිරියට ගෙන යයි. එතුමනට අනුව අපිදු දෙවියන් වහන්සේගේ මන්දීරයන් වෙමු. අප තුළ ශුද්ධාත්මයාණෝ වැඩවාසය කරන්නාහ. මෙය නම් මහා සත්‍යතාවයකි. ප්‍රසාද ස්නාපනයේදී මේ මන්දීරය බවට පත්වූ අප අභිවෘධි ආලේපය මඟින් නිසි ලෙස අලුත්වැඩියා කළා නොවේද? එහෙත් අප තුළ වැඩ වාසය කරන ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙහි අප කොතෙක් අවදි වී ඇත්ද? එපමණක්ද නොවේ: ක්‍රිස්තියානින් වන අපගේ අත්තිවාරම විය යුත්තේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේම බව පාවුළු තුමා අවධාරණය කරයි. සැබවින්ම මගේ ජීවිතයේ අත්තිවාරම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේම යයි මට පැවසිය හැකිද යන්න ගැන මා විමසා බැලිය යුතුය.

නොවැම්බර් 08 සෙනසුරාදා

November 8, 2008

පළමුවන දේව ප්‍රකාශනය – පිලිප්පි 4:10-19

පිළිතුරු ගීය – ගීතාවලිය 112:1-2,5-6,8-9

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 16:9-15

 

සුවිශේෂ ප්‍රකාශන

එබැවින් මම ඔබට කියමි:ලෞකික වස්තුවෙන් මිතුරන් සපයාගන්න. වස්තුව නිමව ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගනු ඇත.අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැන විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි. එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාසව නොසිටියාහු නම් සැබෑ වස්තුව ඔබට භාර දෙන්නෝ කවුරු ද? අන් සතු දේ ගැන ඔබ අවිශ්වාසීව නොසිටියාහු නම් ඔබට අයිතිවන්නට යන දේ ඔබට දෙන්නෝ කවුරුද? ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කිරීමට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර කරන්නේය. අනික් අයට ප්‍රේම කරන්නේය. නොහොත් එක් කෙනෙකුට ලැදි වන්නේය. අනික් අය හෙළාදකින්නේය. දෙවියන් වහන්සේටත් වස්තුවටත් සේවය කරන්නට නුඹට බැරිය.

 

සමිඳුන් දෙසට

ලෞකික යයි සලකන සියල්ල මහෝත්තම අබ්බා පියාණන් වහන්සේගේ ආදරය අත්දැකීමට මාධ්‍යයකි, සක්‍රමේන්තුවකි. ඔවුන් වහන්සේ ලෞකික යැයි සැලකූ කිසිවක් ප්‍රතික්ෂේප නොකළ සේක. සියල්ල දෙස ආලෝකයෙන් බැලූ සේක. දුබලකම, පාපය මේ සියල්ල දෙස දෙවියන් වහන්සේගේ ආදරයට විවෘත වීමට මාධ්‍යයක් ලෙස දුටු සේක. සමාජයේ අනෙක් අය විසින් ගණන් නොගන්න, කොන් කරන, ප්‍රතික්ෂේප කරන අය සොයා ගොස් ඔවුන් හා කෑම කද්දී, ප්‍රීති වෙද්දී දේව තාත්තාගේ අසීමිත ආදරය අප සමිඳාණන් කොතෙක් නම් අත් විඳින්නට ඇත් ද?

ඔවුන් වහන්සේ කුමක් කළත් කුමක් කීවත් කාට කෙසේ සමීප වුවත් ඔවුන් වහන්සේගේ අභ්‍යන්තරයේ තිබුණු අත්දැකීම තාත්තාගේ මහිමය, තාත්තාගේ රාජ්‍යය, තාත්තාට හිමි ස්වාමිත්වය කිසිවකට, කිසිවෙකුට දුන්නේ නැත. ඒ නිසා නොවේද දෙවියන් වහන්සේටත් වස්තුවටත් සේවය කරන්නට ඔබට නොහැකි යයි පවසන්නේ? සියල්ලක්ම දෙවියන් වහන්සේගේ ආදරය වෙතට සමීප වීමේ මාධ්‍යයන් පමණකි. ඔවුන් වහන්සේගේ එකම අරමුණ – පිපාසය වූයේ තාත්තාගේ රාජ්‍යය එනම් දේව රාජ්‍යය ප්‍රකාශ කිරීමයි. ඒ සඳහා තමන් වහන්සේට පැවරූ දූතික කාර්යය ඔවුන් වහන්සේ නොපිරිහෙලා ඉටු කරන සේක. ශ්‍රාවකයන්ව, මුලු මහත් ජනතාවම ඒ දැක්මට ඇතුළු කරන්නට දැවෙන පිපාසයකින් පසුවූ ඔවුන් වහන්සේ තමන් වහන්සේගේ දැක්මට ඇතුළු වෙන්නට බාධාකරන මනුෂ්‍යයා තුළ තිබෙන දුබලකම ගැන විවෘතව හා අභියෝගාත්මකව කතා කරන සේක. එහෙත් එදා සමාජයේ තමන් උසස්ය, බුද්ධිමත්ය, ධනවත්ය යයි සිතූ පරිසිවරුන්ට, විනයධරයන්ට නම් ඒ අභියෝගය දරාගන්නට නොහැකි විය. තමන් ඉන්න තැන ගැන දකින්නටවත් පිළිගන්නටවත් ඔවුන් සූදානම් නොවූ නිසා එම අභියෝගය ඔවුනට භාරගත නොහැකි විය.

නොවැම්බර් 07 සිකුරාදා

November 7, 2008

පළමුවන දේව ප්‍රකාශනය – පිලිප්පි 3:17-4:1

පිළිතුරු ගීය – ගීතාවලිය 122:1-5

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 16:1-8

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයින්ට මෙසේ වදාළ සේක. “එක් ධනවතෙකුට ගබඩා කාරයෙක් සිටියේය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරතියි ඔහුට පැමිණිළි කරන ලදී. එවිට ඔහු ඒ ගබඩාකාරයා කැඳවා “ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක් ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳව අයවැය මට බාර දෙන්න. මින්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකි ය”යි කීය.

ගබඩාකාරයා ද, ‘මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස් කරන්නට යන නිසා මම කුමක් කරම් ද? බිම් කෙටීමට මට ශක්තිය නැත; හිඟාකෑමට ලජ්ජා වෙමි. ගබඩාකාර නිලයෙන් මා අස් කළ විට මිනිසුන්ගේ ගෙවල ඉඳුම් හිටුම් ලබාගැනීමට කළ යුතු දේ මම දනිමි’යි සිතින් සිතාගත්තේ ය. මෙසේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක් එක්කෙනා බැගින් කැඳවා,පළමුවැනියාට කතාකොට, ‘මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණය දැ’යි ඇසීය. ‘තෙල් පීප්ප සියයකැ’යි ඔහු කීවේ  ය. ගබඩාකාරයා කතාකොට, ‘ඔබේ බිල ගෙන වහාම හිඳගෙන පණසක් කියා ලියන්නැ’යි ඔහුට කීය. තවත් කෙනෙකුගෙන්, ‘ඔබ කොපමණ ණය දැ’යි ඇසීය. ‘තිරිඟු බුසල් දහසකැ’යි ඔහු කීය. ‘ඔබ බිල ගෙන අට සියයක් කියා ලියන්නැ’යි ඔහුට කීය.

 

 

ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණකින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළේය. මන්ද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ,සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝය..

 

 

මාගේ පුත්‍රභාවය දෙස

දවස ආරම්භයේ සිට අවසානය දක්වා සැම මොහොතකම මාගේ වැයවීම, කැපවීම, ලෞකික සම්පත්, ගෞරවය, මහිමය සෙවීම සඳහා බව දකින්නට ශුද්ධාත්මයාණෝ මා අවදිකරවන සේක. ඇතැම් විටෙක අධ්‍යාත්මික කටයුතු වලින් පවා සමිඳුන් හඳුන්වා දීමට වඩා ඒ තුළින් වුවද ගෞරවයක්, තත්ත්වයක් සොයා යෑමක් නිතැතින්ම සිදුවූ අවස්ථා කොපමණ ද? සැබැවින්ම මා ආලෝකයේ දරුවෙක් ද? ලෝකයේ දරුවෙක් ද? “බොහෝ දෙනෙක් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ සතුරන් මෙන් හැසිරෙති… එහෙත් අපි ස්වර්ගයේ පුරවැසියෝ වම්හ. අප ගලවන පිණිස ස්වාමින් වන ක්‍රිස්තුන් වහන්සේ ස්වර්ගයෙන් වඩින තෙක් අපි බලා සිටිමු” යයි අද පිලිප්පි සඳෙසින් පාවුළු තුමන් පවසන අයුරින් මටත් අවංකවම පැවසිය හැකි ද?