Archive for January 2009

ජනවාරි 01 බ්‍රහස්පතින්දා

January 1, 2009

සැමට සුදත් අනුහස පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා..!

 

ඓතිහාසික කිතු උපතින් දෙදහස් නවවැනි වසරට පා තබන මේ ආනන්දජනක නැවුම් දිනය සභා මාතාව වෙන්කර ඇත්තේ පරිශුද්ධ මාතෘත්වයේ මංගල්‍යය සැමරීමටය. ලෝ වැසි ජනතාවගේ හදවත් තුළ නවමු බලාපොරොත්තු ජනිත කරමින් උදාවූ මේ නව වසර වෙනුවෙන් භාග්‍යවන්ත දේව මාතාවන් හා එක්වී, තුති පසස් ගයමින් දෙවි සමිඳාණන් පසසමු.

 

පළමුවන දේව ප්‍රකාශනය – ගණන් කථාව 6:22-27

පිළිතුරු ගීය – ගීතාවලිය 67:1-7

දෙවන දේව ප්‍රකාශනය – ගලාති 4:4-7

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 2:15-21

මරියෝත්තමාවන්ගේ පරිශුද්ධ දේව මාතෘත්වයේ මංගල්‍යය

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

… ඔවුහු යුහුව ගොස් මරිය තුමියද, ජෝසෙප්ද, ගව ඔරුවක සතප්වා උන් බිළිඳාද දුටුවෝය… ඒ ඇසූ සියල්ලෝ එඬේරුන් පැවසූ සියල්ල ගැන මවිත වූහ. එහෙත් මරිය තුමී එකී සියල්ල සිත් හි නිදන්කොට ඒවා මෙනෙහි කළාය…

 

ආලෝකවත් අවදිවීම

පියාණන් වහන්සේගේ කැමැත්තට පූර්ණව අවනත වෙමින් දේව තේජස – මහිමය හිස්කර මිනිසත් බව ගෙන ගව ලෙනක උපත ලබා, ගව ඔරුවක සතපවා සිටින ජේසු බිළිඳාණන් දෙස නෙත් යොමා සිටින භාග්‍යවන්ත මාතාවන් දෙස නෙත සිත යොමු කරමු. ජේසු සමිඳාණන්ට මාතෘත්වය දුන් එතුමිය දෙස බැලීම, කිතු සමිඳාණන් දෙස වැඩිවැඩියෙන් නෙත් යොමන්නට අප අවදි කරවන බවකි. සුපුවතින් දිගහැරෙන, “මරිය තුමී එකී සියල්ල සිත් හි නිදන්කොට මෙනෙහි කළාය” යන්න සවන්ගත වෙද්දී, භාග්‍යවන්ත මාතාව අප හමුවේ අභියෝගාත්මක දසුනක් රූගත කරන්නීය. දේව දූතයා මංගලම් කී මොහොතේ සිට පුත්‍රයාණන් සමඟ කුරුස පාමුල දක්වාම සියල්ල සිදුවී ඇත්තේ අහඹුවෙන් නොව, දෙවි පියාණන් වහන්සේගේ සැලැස්මට පාලනයට අනුකූලව බව වටහාගත් එතුමිය, සැම විටම ඔවුන් වහන්සේ කෙරෙහි ගැඹුරු ඒශ්වාසයකින් යුතුව බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන නිහඬව බලා සිටියාය. දේව වචනය සිත් හි නිදන් කරගෙන මෙනෙහි කිරීම, එතුමියගේ බගවත් දිවි මඟට මහා බලයක් විය. ක්‍රිස්තුන් වහන්සේවත් ඔවුන් වහන්සේගේ දූත මෙහෙවරත් පූර්ණව හඳුනාගෙන තම කැඳවුමට සියයට සියයක්ම උපරිමයෙන් සාක්ෂි දැරූ එතුමිය අප දිවි මඟට මහා අභියෝගයකි, සමිඳුන් වෙතින් ලද උතුම් තිළිණයකි.

භාග්‍යවන්ත මාතාවන් හරහා මේ නව වසර පුරාම වැඩි වැඩියෙන් ජේසු ක්‍රිස්තුන් වහන්සේ දෙස බලන්නට යොමු වෙමු. “මා අනුව එන්න” යන සමිඳු හඬට අවදි වෙමින් දේශය තුළ, සංඝය – මීසම තුළ, පවුල තුළ දේව පුත්‍රභාවයෙහි උරුමය රැක ගනිමින් සාක්ෂි දරන්නට කැපවෙමු. මේ වසර පුරා ජීවිත ගමනේ හැල හැප්පීම්, කැළඹීම්, හුදකලා වීම්, සතුට – කඳුළ අප වෙලා ගත්තත් ගැඹුරු නිසලතාවයකට ඇතුල් වී දෙවි පියාණන් වහන්සේගේ අසීමිත ආදරයේ පහස විඳින්නට බලය අයැද සිටිමු.