දෙසැම්බර් 17 බදාදා

Posted December 17, 2008 by Bernadine
Categories: සුදතුම් ගමන

පළමුවන දේව ප්‍රකාශනය – උත්පත්ති 49:2-8, 10

පිළිතුරු ගීය – ගීතාවලිය 72:1-4, 7-8,17

සුවිශේෂ ප්‍රකාශනය – ශු.මතෙව් 1:1-17

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

ආබ්‍රහම්ගේ දාවිත්ගේද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේය: ආබ්‍රහම්ට දාව ඊසාක්ද ඊසාක්ට දාව ජුදා සහ ඔහුගේ සහෝදරයෝද උපන්හ. ජුදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරාද පෙරෙශ්ට දාව ආරාම්ද,ආරාම්ට දාව නාෂොන්ද ……… ජාකොබ්ට දාව මරිය තුමියගේ පුරුෂයා වූ ජෝසෙප්ද උපන්නෝය. මරිය තුමියගෙන් ක්‍රිස්තුස් නම් ජේසුස් වහන්සේ උපන් සේක.

මෙසේ ආබ්‍රහම් පටන් දාවින් දක්වා පරම්පරා සියල්ල දස සතරකි. බබිලෝනියේ විප්‍රවාස ගතවීම දක්වා පරම්පරා දස සතරකි. බබිලෝනියේ විප්‍රවාස ගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි.

අප දෙසට

දුර්වල වූ වංශාවලියක, පාපිෂ්ඨයන් සිටින වංශාවලියක කිතු සමිඳාණන්ට ඉපදීමට සැලසීම දෙවියන් වහන්සේගේ අභිරහස්මක සැළැස්මේ ක්‍රියාකාරිත්වයයි. අප හට ගැලවීම ලැබී ඇත්තේ ඔවුන් වහන්සේගේ සැලැස්ම ඉටු වූ නිසාය.

අප හැම කෙනෙකුවම මෙලොවට බිහි කරන්නට ද වංශාවලියක් ඇතිකර ඇත. මොහොතකදී අපි අපේ පරම්පරාව ගැන ආඩම්බර වෙමු, පුරසාරම් දොඩමු. එහෙත් තවත් මොහොතකදී අපි අපේ පරම්පරාවට දොස් කියන්නෙමු, ශාප කරන්නෙමු. එහෙත් දෙවියන් වහන්සේට අප පිළිබඳව තිබෙන සැළැස්ම ඉටු කරන්නටය, එවැනි පරම්පරාවක – වංශාවලියක අපව ඉපදෙන්නට සලස්වා ඇත්තේ.

මනුෂ්‍යයන් හැටියට අපේ පරම්පරාව – වංශාවලිය යහපත් වුවත් අයහපත් වුවත් අප හැම කෙනෙකුම අයිති වී ඇත්තේ ක්‍රිස්තුන් වහන්සේගේ පෙළපතකටය. අපට හිමිවී ඇත්තේ දේව පුත්‍රභාවයේ උරුමය ය. එම නිසා අපි භාග්‍යවන්ත වන්නෙමු.

දෙසැම්බර් 16 අඟහරුවාදා

Posted December 15, 2008 by Bernadine
Categories: සුදතුම් ගමන

පළමුවන දේව ප්‍රකාශනය – ශෙපනියා 3:1-2, 9-13

පිළිතුරු ගීය – ගීතාවලිය 34:2-3, 6-7, 17-19, 23

සුවිශේෂ ප්‍රකාශනය – ශු.මතෙව් 21:28-32

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

කැරළිකාර, දුෂ්‍ය, සිය දේශයේම වැසියන්ට පීඩා කරන ජෙරුසෙලමට වන විපතක මහත! ඈ සමිඳාණන්ගේ හඬට සවන් නුදුන්නාය, අවවාදය නොපිළිගත්තාය. ඈ අමිඳාණන් වහන්සේ අදහා ගන්නේවත්, ඇගේ දෙවියන් වහන්සේට ළං වුණේවත් නැත.

 

මාගේ පුත්‍රභාවය

“ඔබ රිසි දේ කරනු වස් මෙන්න මම ඇවිත් සිටිමි” (හේබ්‍රෙව් 10:7) පියාණන් අබිමුව සිටිමින් සමිඳාණන් වහන්සේ එසේ පිළිතුරු දෙන’යුරු සුපුවතින් පෙනී යයි. සමිඳාණන් අබියස අපිද පෙනී සිටිමු. විවිධ වහල්කම් අපව බැඳ තබා ඇත. දේව කැමැත්ත ඉදිරිපිට අප කොහේද? අපගේ මමත්වය රජකරන්නට, අප කැමති දේ කරන්නට අපව පොළඹවනුයේ අප තුළම තිබෙන පාපයයි. අපගේ මිනිස් ස්වභාවය පාපය තුළ අප බැඳ තබා ඇත. සමිඳාණන් එදා කළ ආරාධනය ඔවුන් වහන්සේ තෝරාගත් සකල ජනතාවටමය. එම ආරාධනය ඔවුන් වහන්සේට බද්ධවී ජීවත් වන්නට කරන දයාන්විත ආරාධනයකි, කැඳවීමකි. අපගේ මනුෂ්‍ය ස්වභාවයට අවදිවීම සඳාහාත්, පසුතැවිල්ලෙන් හැරෙනු සඳහාත් ආත්මයාණන් වහන්සේ අපට මඟ පෙන්වන සේක.

දෙසැම්බර් 15 සඳුදා

Posted December 15, 2008 by Bernadine
Categories: සුදතුම් ගමන

පළමුවන දේව ප්‍රකාශනය – ගණන් කථාව 24:2-7 ,15-17

පිළිතුරු ගීය – ගණන් කථාව 24:2-7 ,15-17

සුවිශේෂ ප්‍රකාශනය – ශු.මතෙව් 21:23-27

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

ඔවුන් වහන්සේ දේව මාළිගාවට ඇතුළුව උගන්වමින් සිටියදී නායක පූජකවරු ද, ප්‍රජා මූලිකයෝ ද ඔවුන් වහන්සේ වෙතට අවුත්, “ඔබ මේ දේ කරන්නේ කුමන අධිකාරී බලයකින්ද? මේ බලය ඔබට පැවරුවේ කවරෙක්දැ”යි ප්‍රශ්න කළහ. ජේසුස් වහන්සේ උත්තර දෙමින්,”මමත් ඔබගෙන් ප්‍රශ්නයක් විචාරමි. ඔබ එය මට කියන්නහු නම් මේ දේවල් කරන්නේ කුමන අධිකාරී බලයකින්දැයි මමත් ඔබට කියමි…”

 

සමිඳාණන් දෙසට

“ඔබ මේ දේ කරන්නේ කුමන අධිකාරී බලයකින්ද?” ඔවුන් වහන්සේ ලෙඩුන් සුව කරන සේක. අශුද්ධාත්මයන් පළවා හරින සේක. කුණාටු නිශ්චල කරන සේක. මහා බලයකින් යුතුව ජනතාවට දේශනා කරන සේක. මෙය බලා සිටින කෙනෙකුට ප්‍රශ්නයක් වූවාට සැක නැත. එවැනි සැකයක් පහළ වූ නායක පූජකවරුන් හා ප්‍රජා මූලිකයන් ඔවුන් වහන්සේව වචනයින් හෝ අල්ලා ගනු පිණිස ප්‍රශ්න කළහ. එහෙත් ඔවුන් වහන්සේව කිසිදු වචනයකින්වත් අල්ලා ගැනීමට නොහැකි විය. මන්ද, ඔවුන් වහන්සේ කුමක් කළත් ,දේව කැමැත්ත කුමක්දැයි විමසා බලා එය ඉටු කළ සේක. ඔවුන් වහන්සේ සමඟ තර්ක විතර්ක කොට ජය ගැනීමට කිසිවෙකුට නොහැකි විය. ඔවුන් වහන්සේ ඉතාමත් ප්‍රඥාවන්ත ලෙස ඔවුන්ට පිළිතුරු දුන් ආකාරය අද දින සුපුවත තුළින් මනාව පැහැදිළි වේ.

දෙසැම්බර් 14 ඉරිදා

Posted December 15, 2008 by Bernadine
Categories: සුදතුම් ගමන

පළමුවන දේව ප්‍රකාශනය – යෙසායා 61:1-2, 10-11

පිළිතුරු ගීය – ශු.ලූක් 1:46-50, 53-54

දෙවන දේව ප්‍රකාශනය – ශු.ලූක් 1:46-50, 53-54

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ජොහන් 1:6-8, 19-28

ආගමන කාලයේ 3 වන ඉරුදින

 

දෙවන ප්‍රකාශනය

නිතරම ප්‍රීති වන්න. නොකඩවා යාච්ඤා කරන්න. සියල්ලෙහිදී ස්තූති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ.

ශුද්ධාත්මානුභාවයට අවහිර නොකරන්න. දිවැස් වැකි සුළුකොට නොතකන්න. සියල්ල විමසා බලා, යහපත් දේ තදින් අල්ලා ගන්න. සියලු ආකාර නපුරෙන් වළකින්න.

සාමදානයේ දෙවියන් වහන්සේම ඔබ මුළුමනින්ම පවිත්‍ර කරන සේක්වා! ඔබගේ මුළු ආත්මයද ප්‍රාණයද ශරීරයද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා! ඔබ කැඳවන තැනන් වහන්සේ විශ්වාසවන්තය. ඔවුන් වහන්සේ එය ඉෂ්ඨ කරනු නියතය.

 

දෙසැම්බර් 13 සෙනසුරාදා

Posted December 15, 2008 by Bernadine
Categories: සුදතුම් ගමන

පළමුවන දේව ප්‍රකාශනය – උපදේශකයා 48:1-4, 9-11

පිළිතුරු ගීය – ගීතාවලිය 80:1-2,14-15, 17-18

සුවිශේෂ ප්‍රකාශනය – ශු.මතෙව් 17:10-13

සාන්ත ලුසියා මුනිවරියගේ මංගල්‍යය

 

සුවිශේෂ ප්‍රකාශන             

ඔවුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කථා කොට “එසේ නම් එලියා පළමුවෙන් එන්න යුතු යයි විනය ධරයන් කියන්නේ මන්දැ”යි ඔවුන් වහන්සේගෙන් ඇසූහ. ඔවුන් වහන්සේ උත්තර දෙමින්, “එලියා එන බව ඒකාන්තය. ඔහු ඇවිත් සියල්ල යළි පිහිටුවන්නේය. එහෙත් මම ඔබට කියමි. එලියා දැනටම පැමිණ සිටියි. ඔවුන් ඒ බව නොදැන තමන්ට රිසි දෙය ඔහුට කළහ. එලෙසම ඔවුන් මනුෂ්‍ය පුත්‍රයාණන්ටද පීඩා කරනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක….

දෙසැම්බර් 12 සිකුරාදා

Posted December 15, 2008 by Bernadine
Categories: සුදතුම් ගමන

පළමුවන දේව ප්‍රකාශනය – යෙසායා 48:17-19

පිළිතුරු ගීය – ගීතාවලිය 1:1-4, 6

සුවිශේෂ ප්‍රකාශනය – ශු.මතෙව් 11:16-19

ගොඩලූපේ අප ස්වාමිදූගේ මංගල්‍යය

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

මේ පරම්පරාව කුමකට සමාන කරම්ද? වෙළෙඳ පොළේ හිඳ තමන්ගේ යහළුවන්ට හඬගා, ‘අපි ඔබට නළා පිම්බෙමු, ඔබ නැටුවේ නැත. අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැත’ කියන දරුවන්ට එය සමානය. ජොහාන් කමින් බොමින් ආවේ නැත. එබැවින් ‘ඔහු යක්ෂාවේශ වූවෙකි’යි ඔවුහු කියති. මනුෂ්‍ය පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක. එබැවින්, ‘මේ බලන්න,ඔහු කෑදර මනුෂ්‍යයකි මුද්‍රික පානය කරන්නෙකි අයකැමියන් ගේද පවුකාරයන් ගේද යහළුවෙකි’යි ඔවුහු කියති. එහෙත්, දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින් ඔප්පු වී ඇත.

දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා

Posted December 8, 2008 by Bernadine
Categories: සුදතුම් ගමන

පළමුවන දේව ප්‍රකාශනය – යෙසායා 41:13-20

පිළිතුරු ගීය – ගීතාවලිය 145:1,9-13

සුවිශේෂ ප්‍රකාශනය – ශු.මතෙව් 11:11-15

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

“සැබවින්ම මම ඔබට කියමි: මිනිස් සංහතිය තුළ ජොහාන්ට වඩා උතුම් කෙනෙකු පහළ නොවීය. එහෙත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුවද ඔහුට වඩා උතුම් ය. ස්නාවක ජොහාන්ගේ කාලයේ පටන් මේ දක්වා ස්වර්ග රාජ්‍යය බලහත්කාර කමකට යටවී ඇත. බලහත්කාර කම් කරන්නෝ එය බලයෙන් අත්පත් කරගනිති. මන්ද දිවැසිවරු හා ව්‍යවස්ථාවලිය ජොහාන් දක්වා දිවැසි වැකි කීහ. ඔබ පිළිගන්න කැමති නම් එන්ට සිටින එලියා මොහුය. සවන් ඇත්තෝ සවන් දෙත්වා!”

අප දෙසට

දහසක් අතරින් තෝරා ගත්තාවූ ඔබගේත් මගෙත් ජීවිත දෙස ආපසු හැරී බලන්නටැ සමිඳාණෝ ඇරයුම් කරන සේක.

සමිඳාණන් වහන්සේගේ පළමු පැමිණීම සිහිපත් කරන්නට සූදානම් වන ආගමන කාලයට අප පියවර තබා ඇත. කතෝලික ජනතාවක් වශයෙන් සමිඳාණන් වහන්සේගේ සුභාරංචිය ජනතාව අතරට ගෙන යන්නේද?

මා තෝරා පත් කර තිබෙන මේ කැඳවීමට මා පිළිතුරු දී ඇත්තේ කෙසේද? ‘මම – මට – මගේ’ කියන මමත්වය තුළ ක්‍රියා කරන අයෙක්ද මා? නෝසේ නම් මගේ තිබෙන හැකියාව උගත්කම මත තව කෙනෙකුගේ අදහසට නම්‍යශීලී බවක් නොදක්වමින් කුඩාවීමට බැරි බවක් අත්දකින අයෙක්ද?

‘ශුද්ධාත්මයාණෙනී, හැරෙන්නට – පිළිගන්නට  – මනස්ථාපනය වන්නට මගේ පාපය මට පෙන්වා දෙන්න’ කියා අපි ශුද්ධාත්මයාණන් අයදිමු. ඉන් එතෙර වන්නට සූදානම් වෙමු. සැබෑ මනස්ථාපනය තුළින් අධිෂ්ඨානයකට පිවිසෙමු.

දෙසැම්බර් 10 බදාදා

Posted December 8, 2008 by Bernadine
Categories: සුදතුම් ගමන

පළමුවන දේව ප්‍රකාශනය – යෙසායා 40:25-31

පිළිතුරු ගීය – ගීතාවලිය 103:1-4, 8-10

සුවිශේෂ ප්‍රකාශනය – ශු.මතෙව් 11:28-30

 

පළමුවැනි ප්‍රකාශනය

…එතුමාණෝ ක්ලාන්ත වන අයට ශක්තියත්, බෙලහීනයන්ට සවියත් දෙන සේක. තරුණයෝ පවා දුබල වෙති. යෞවනයෝ පවා වෙහෙසවී හැටෙති. එහෙත්, සමිඳුන් සරණ යන්නෝ සවිය අලුත් කරගන්නෝය… ඔවුහු දුවන්නෝය; එහෙත් වෙහෙස නොවන්නෝය. ඇවිදින්නෝය; එහෙත් ක්ලාන්ත නොවන්නෝය.

දෙසැම්බර් 09 අඟහරුවාදා

Posted December 8, 2008 by Bernadine
Categories: සුදතුම් ගමන

පළමුවන දේව ප්‍රකාශනය – යෙසායා 40:1-11

පිළිතුරු ගීය – ගීතාවලිය 96:1-3, 10-13

සුවිශේෂ ප්‍රකාශනය – ශු.මතෙව් 18:12-14

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

ඔබ කුමක් සිතන්නහු ද? බැටළුවන් සියයක් ඇති යම් මිනිසෙක් උන්ගෙන් එකෙකු මුළාව ගියොත් ඉතිරි අනූ නවදෙනා පාලුකරයේ ඉන්න හැර මුළාව ගිය එකා සොයා යන්නේ නැද්ද? සැබවින්ම මම ඔබට කියමි, ඌ සම්භ වුනොත් මුළාව නොගිය අනූ නව දෙනා ගැන ප්‍රීති වනවාට වඩා ඌ ගැන ප්‍රීති වන්නේය. එසේම මේ බාලයන් එක්කෙනෙකුවත් විනාශවීම ස්වර්ගයෙහි වැඩවසන ඔබගේ පියාණන් වහන්සේගේ කැමැත්ත නොවේ…

ආලෝකවත් අවදිවීම

“ඔබ කුමක් සිතන්නහුද?” ජේසු ක්‍රිස්තු සමිඳාණන් අද දින සුපුවත ප්‍රකාශ කරන්නේ ප්‍රශ්නයක් මතු කරමිනි. මිනිසා යනු දේව ස්වරූපයට මවන ලද ප්‍රධාන සාධකයකි. එබැවින් මැවුම්කරුවාණෝ අන් අය සියළු මැවිලිවලට වඩා මිනිසාට ප්‍රේම කළ සේක. දෙවි සමිඳාණන් වහන්සේගේ දිව්‍යමය ප්‍රේමය ලබන්නට මිනිසා තුළ අභ්‍යන්තරික පිපාසයක් ඇතිකළේද ඔවුන් වහන්සේමය. එහෙත්, තමා මැවිල්ල තුළ බලවන්තයෙකු යයි සිතූ මිනිසා, දේව ප්‍රේමය ප්‍රතික්ෂේප කරමින් විනාශය ළඟා කරගත්තේය. අපි එය ජන්ම පාපය යයි හඳුන්වනු ලබමු. එහෙත් ගිවිසුම් ප්‍රේමයකි ප්‍රේම කළාවූ තැනන්වහන්සේ මිනිසා සොයාගෙන පැමිණීම අසීමිත ආදරයේ ප්‍රකාශනයකි. එසේම ජොර්දාන් ගඟ අසබඩින් සිය දූතික කාර්යය ආරම්භ කළ දේව පුත්‍රයාණෝ ලොව පුරා විසිරී සිටින නැතිවූ බැටළුවන් ඒකරාශී කිරීමටත්, තුවාල වූ දුර්වලවූ බැටළුවන් සුවපත් කරමින්, පෝෂණය කිරීමටත් ආරම්භ කළ සේක. මෙම සුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් වහන්සේ එදා ජුදා සමාජය තුළ පැවති සම්ප්‍රදායන් ඔවුන්ගේ හුරු පුරුදු ජීවන රටාවන් වැනි බොහෝ දේ උපයෝගී කරගත් සේක. විශේෂයෙන්ම මධ්‍යධරණී මුහුද අවට, පලස්තීන දේශයේ බැටළුවන් ඇතිකිරීම, රැකබලා ගැනීම ඔවුනගේ ජීවිකාව විය. යහපත් බැටළු එඬේරෙකු තම බැටළු රැළ බලා ගැනීමේ අත්දැකීම හරහා දෙව් මිනිස් ප්‍රේම සම්බන්ධතාවය මැනවින් පිළිබිඹු කරයි. එපරිද්දෙන් ක්‍රිස්තුස් වහන්සේ දිව්‍යමය එඬේරාණන් වෙමින්, දෙවි පියාණන්ගේ රාජ්‍යය සඳහා එහි උරුමය ජනතාවට උරුම කර දීම සඳහා වැය වූහ. සුපුවත නම් කිසිවෙකු විනාශ නොවී සදාතනික ප්‍රේමය මඟින් සැලසෙන ගැලවීම අත්දැකීම ය.

දෙසැම්බර් 08 සඳුදා

Posted December 8, 2008 by Bernadine
Categories: සුදතුම් ගමන

පළමුවන දේව ප්‍රකාශනය – උත්පත්ති 3:9-15, 20

පිළිතුරු ගීය – උත්පත්ති 3:9-15, 20

දෙවන දේව ප්‍රකාශනය – එපීස 1:3-6, 11-12

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ලූක් 1:26-38

කන්‍ය මාතාවන්ගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ, දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකි හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය. දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, “විපුල ප්‍රසාද ලත් උත්තමිය ඔබට මංගල වේ, සමිඳාණන් වහන්සේ ඔබ සමඟය.”යි කීය. එහෙත් ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක්දැයි සිත සිතා සිටියාය. දේව දූතයා ඈට කතා කොට, “මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාද ලද්දෙහි ය. මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහිය. ඔවුන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න”

“ඔවුන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක. පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක…” එවිට මරිය තුමී දේව දූතයාට කතා කොට, “මට පුරුෂයකු නැති බැවින් මෙවැන්නක් කෙසේ විය හැකිදැ”යි ඇසුවාය. දේව දූතයා ඇයට උත්තර දෙමින්, “ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක. පරමෝත්තමයාණන්ගේ ආත්මානුභාවය ද ඔබ වසා ගන්නේය…” මරිය තුමී කතා කරමින්, “බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි, ඔබ පැවසූ ලෙසම මට ඉටු වේවා” යි කීවාය…

ආලෝකවත් අවදිවීම

භාග්‍යවන්ත මාතාවන්ව අනාදිමත් කාලයක සිටම මහෝත්තම වූ සමිඳාණන් වහන්සේ තෝරා ගත් සේක. එනිසාම මව් කුසයේදීම එතුමිය නිර්මලව පිළිසිඳුනා ය. ඒ බව අපට දේව දූතයා විසින් ප්‍රකාශ කරන “විපුල ප්‍රසාද ලත් උත්තමිය” යනුවෙන් දේව අම්මාව ආමන්ත්‍රණය කරන වදන් වලින්ම සුපැහැදිළි වේ. තවද, ගැළවුම්කාර වූ ජේසු ක්‍රිස්තු සමිඳාණන්ගේ මෑණියන් වීමට තරම්ම එතුමිය භාග්‍යවන්ත වූවාය. එසේ වුවත් එතුමිය තුළ ගැඹුරුම මට්ටමින් බැහැපත් කමක් දිස්විය. දෙවි සමිඬ්ගාණන් වහන්සේගේ දාසිය වීමට තරම් එතුමිය බැහැපත් වූවාය. භාග්‍යවන්ත මරියෝත්තමාවන්ගේ නිර්මල පිළිසිඳීම අද දින සභා මාතාව විසින් මහත් උත්කර්ශවත්ව සැමරීම මොන තරම් අගනේද?

අපේ පුත්‍රභාවය

අපි අප දෙසම මොහොතකට බලමුද? භාග්‍යවන්ත මෑණියන් මෙන් දේව කැමැත්තට අප මුළුමනින්ම නතු වූවා යැයි කියා අපට සතුටු විය හැකිද? භාග්‍යවන්ත මාතාවෝ එදා විශ්වාස ජීවිතයේ මුදුන් මල්කඩ වූහ. තවද තම ආශාවන් පරිත්‍යාග කළ එතුමිය දේව වචනය තුළ ජීවත් වූවාය. එහෙත් අපගේ ජීවිත දෙස බලද්දී අප අපේම කැමැත්ත ඉටු කරගන්නට කොපමණ මාන බලනවාද? අප හදවත් කුහකකම නැමැති කළු වළාකුලෙන් කොපමණ වැසී තිබේද? එබැවින් මනස්ථාපනය වෙමු, හැරෙමු. දෙව් වදන් අපගේ දිනපතා ආහාරය කර ගනිමින් සමිඳාණන් වහන්සේ අනුව යන්නට පියවර තබමු.